රටේ හදිසි තත්ත්වය දීර්ඝ කෙරේ
ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කර ඇති මහජන හදිසි අවස්ථා තත්ත්වය තවත් මාසයක කාලයක් සඳහා දීර්ඝ කිරීමට තීරණය කර ඇත.
ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් ආචාර්ය එන්. එස්. කුමනායක මහතා විසින් ඊයේ (28) නිකුත් කර තිබේ.
දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වය සැලකිල්ලට ගනිමින්, මහජන ආරක්ෂාව සහ රටේ සාමාන්‍ය පරිපාලන කටයුතු සුරක්ෂිත කිරීමත්, මහජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයුම් හා සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමත් සඳහා මෙම තීරණය ගෙන තිබේ.
එමෙන්ම, රාජ්‍ය සංස්ථා, රජයේ දෙපාර්තමේන්තු, පළාත් පාලන ආයතන සහ සමූපාකාර සමිති මඟින් සපයන සේවාවන් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනයද යළි දීර්ඝ කර ඇත.
ඒ අනුව විදුලිබල සැපයුම්, ඛනිජ තෙල් හා ගෑස් ඇතුළු ඉන්ධන බෙදාහැරීම්, සෞඛ්‍ය සේවා, පොදු ප්‍රවාහන සේවා ඇතුළු සේවා රැසක් අත්‍යවශ්‍ය සේවා ලෙස යළිත් ක්‍රියාත්මක වේ.
