සයිනොෆාම් එන්නත් දිස්ත්‍රික්ක අතර බෙදාහරින ආකාරය මෙන්න.

Colombo Galle Gampaha Mathara Synofarm vaccines
By Aruna Jul 12, 2021 01:06 AM GMT
Aruna

Aruna

Report

ශ්‍රී ලංකාව විසින් මිල දී ගත් තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 26,000ක් දිවයිනට රැගෙනවිත් තිබේ.

එම එන්නත් මාත්‍රා තොඟය අද (12) අලුයම කටුනායක ගුවන් තොටුපොළ ට රැගෙන ඒමෙන් පසු ගබඩා වෙත විශේෂිත ලොරි රථවලින් රැගෙන ආ බව අප වාර්තාකරුවන් පැවසුවේය.

මීට පෙර ද අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා 26,000ක් මෙරටට ලැබී තිබුණි.

මේ අතර චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක තොගයක් ඊයේ (11) දිවයිනට රැගෙන එනු ලැබුණා.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අයත් ගුවන් යානා දෙකකින් අදාළ එන්නත් තොගය චීනයේ බීජිං නුවර සිට ඊයේ උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ට පැමිණි බව ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේය.

අනතුරුව ඒවා ඖෂධ නීතිගත සංස්ථාවේ විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි 17කින් පමණ රැගෙන ආ එම එන්නත් තොගය රජයේ මධ්‍යම එන්නත් ගබඩාව වෙත නිල වශයෙන් භාරදීම සිදුවිය.

එම එන්නත් තොගයෙන් ලක්ෂ 05ක් ගම්පහ දිස්ත්‍රික්කය සඳහා ලබාදීමට නියමිත අතර කළුතර දිස්ත්‍රික්කය සඳහා ලක්ෂ 03ක්, කොළඹ හා කුරුණෑගල දිස්ත්‍රික්ක සඳහා ලක්ෂ 02 බැගින් ලෙස ලබාදීමට නියමිතය.

සෙසු එන්නත් තොගය ගාල්ල, මාතර, හම්බන්තොට, අනුරාධපුර, නුවරඑළිය, රත්නපුරය, බදුල්ල හා මාතලේ දිස්ත්‍රික්කවලට ලක්ෂය බැගින් ලෙස බෙදාහැරීමට නියමිත බව ඖෂධ සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේය.

අද ලැබුණු සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20ත් සමඟින් මේ දක්වා එම එන්නත් මාත්‍රා මිලියන 7.1ක් ලැබී ඇති බව රාජ්‍ය අමාතව්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම මෙම මාසය තුළ තවත් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 40ක තොගයක් දිවයිනට ලැබීමට නියමිත බව ද මහාචාර්ය චන්න ජයසුමන මහතා කියා සිටියේය.

“අපි බලාපොරොත්තු වෙනවා මේ ලැබුණු එන්නත් මාත්‍රා ලක්ෂ 20 හෙට දිනයේ සිට ම එන්නත්කරණය සඳහා යොදා ගන්න. ජනාධිපතිතුමා අපිට දුන්නා ඉලක්කයක්. අගෝස්තු 31 වන විට ශ්‍රී ලංකාවේ 30ට වැඩි සියලුම දෙනාට එන්නත් ගහලා ඉවර කරන්න ඕනේ කියලා.

ඊළඟ සතියෙත් අපි බලාපොරොත්තු වෙනවා මේ හා සමානම එන්නත් තොගයක් අපිට ලැබෙයි කියලා.“ කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ (10) දිනය තුළ පුද්ගලයින් 175,824 දෙනෙකුට සයිනොෆාම්,ෆයිසර් හා කොවිෂීල්ඩ් යන එන්නත්වල පළමු හා දෙවන මාත්‍රා ලබාදුන් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

ඒ අනුව කිසියම් කොවිඩ් මර්දන එන්නතක එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති සමස්ත පුද්ගලයින් ගණන 3,907,253 දක්වා ඉහළ ගොස් තිබේ.

මාත්‍රා දෙකම ලබාගෙන ඇති සමස්ත පුද්ගලයින් ගණන 1,423,239 කි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now