ප්‍රවාහනයෙත් ලොකු ගැටලුවක් - රියදුරන් 500කගේ වැඩ තහනම් කරයි - හේතුව මෙන්න
වැටුප් සහිතව වැඩ තහනමට ලක්ව සිටින රියදුරන් පිළිබඳ සාකච්ඡාවක් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී ඉකුත් දා පාර්ලිමේන්තුවේදී සිදු කර තිබෙනවා.
ඒ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ සභාපතීත්වයෙන් එම කාරක සභාව රැස් වූ අවස්ථාවේදී බව සඳහන්.
එහිදී විවිධ විනය ගැටලු හේතුවෙන් රියදුරන් 400ක් 500ක් පමණ වැඩ තහනමට ලක්ව සිටින බවත් ඔවුන්ගෙන් ඇතැම් රියදුරන් තවමත් වැටුප් ලබා ගනිමින් සිටින බවත් පැමිණි නිලධාරීන් පෙන්වා දී ඇත.
එසේම ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ විවිධ නීතිමය තත්ත්වයන් යටතේ අධිකරණ ක්‍රියාමාර්ග හේතුවෙන් මෙසේ වැටුප් ගෙවීම සිදු වන බවත් එසේ වැඩ තහනමට ලක්ව සිටින ඇතැම් රියදුරන් පෞද්ගලික බස්රථවල රියදුරු වෘත්තියේ යෙදෙමින් ආදායම් උපයන බවත් ය.
ඒ අනුව මේ පිළිබඳ දීර්ඝව සාකච්ඡා කිරීමෙන් පසුව අවශ්‍ය නීති උපදෙස් කඩිනමින් ලබාගෙන විනය ක්‍රියාමාර්ග ගැනීමේ ක්‍රමවේද සම්බන්ධයෙන් යළි සලකා බලන මෙන් අමාත්‍යවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
එමෙන්ම ප්‍රවාහන ක්ෂේත්‍රය හා සම්බන්ධ නීතිමය රාමුව ශක්තිමත් කිරීමෙන් සාධනීය දිශානතියක් කරා ප්‍රවාහන ක්ෂේත්‍රය යොමු කරවීමට වන අනු කාරක සභාවේ සහ දුම්රිය දෙපාර්තමේන්තුව, කාර්යක්ෂම සහ සතුටුදායක සේවා උත්පාදනය කරන ස්ථානයක් බවට පත් කිරීමට වන අනු කාරක සභාවේ අවසන් වාර්තාව සහ අතුරු වාර්තාව පිළිවෙළින් ඉදිරිපත් කිරීම සිදුව ඇත.
ඊට අමතරව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අංශවල දිවයිනේ විවිධ ප්‍රදේශවල පවතින ගැටලු මෙහිදී ගරු මන්ත්‍රීවරයන් විසින් කාරක සභා සභාපතිවරයාගේ අවධානයට යොමු කර ඇත.
ඒ සම්බන්ධයෙන් කරුණු විමසූ කාරක සභා සභාපතිවරයා අවශ්‍ය පියවර ගැනීමට නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.