අද රත්‍රී අහසේ සුපිරි නීල සඳක්..මෙවන් සඳක් යළි දකින්න වෙන්නෙ 2037දී.

Nikini Full Moon Poya Sri Lanka Weather Buddhism
By Aruna Aug 30, 2023 02:46 AM GMT
Aruna

Aruna

Report

අද (30) රාත්‍රී අහසේ සෙනසුරු සමඟ ඉතා විරල ගණයේ සුපිරි නීල සඳක් දැක ගැනීමට හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා.

මහාචාර්යවරයා සඳහන් කළේ, අද පුන් පොහෝ දින සන්ධ්‍යාවේ පූර්ණ චන්ද්‍රයා දැක ගත හැකි වුවද මෙම සුපිරි නීල සඳ නැරඹීමට හොඳම වේලාව වන්නේ අද රාත්‍රිය ගෙවී ගොස් පසු දින උදෑසන 5.00ට පමණ බවයි.

ඒ ආසන්නයේම ඉතා දීප්තිමත්ව සෙනසුරු ග්‍රහයා ද දැක ගැනීමට හැකි බවයි චන්දන ජයරත්න මහතා ප්‍රකාශ කළේ.

මෙවැනි සුපිරි නීල සඳක් නැවත දැක ගත හැකි වන්නේ, 2037 ජනවාරි මාසයේ බවත්, 2025 නොවැම්බර් වන තෙක් සඳ නැවතත් මෙතරම් සමීප නොවනු ඇති බව‍ත් මහාචාර්ය චන්දන ජයරත්න මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

එකම මාසයක පුර පසළොස්වක සඳ දෙකක් පවතින විට දෙවන පුර පසළොස්වක පොහොය සඳ නිල් සඳ ලෙස හැඳින්වෙනවා.

මෙය නමක් පමණක් වන අතර සඳ සැබැවින්ම නිල් පැහැයෙන් දිස් වන්නේ නැහැ.

චන්ද්‍රයා තම කක්ෂයේ පෘථිවියට ඉතා ආසන්නව සිටින විට පූර්ණ චන්ද්‍රයා ඇති වීමේ ප්‍රතිඵලයක් ලෙස පසුගිය කාලයේ දැක ඇති පූර්ණ චන්ද්‍රයන්ට වඩා අද දින 14% කින් විශාල වන අතර 30%ක පමණ දීප්තියකින් යුක්ත වනු ඇති.

පුර පසළොස්වක පෝය දිනවල චන්ද්‍රයාගේ ප්‍රමාණය හා දීප්තිය මාසෙකින් මාසයකට තරමක් වෙනස් වන්නේ පෘථිවිය වටා ඇති චන්ද්‍රයාගේ කක්ෂයේ ඉලිප්සාකාර හැඩය නිසයි.

හෙට (31) පෙ.ව 7.05ට පෘථිවියට කි.මී 357344 ක් පමණ දුරකින් චන්ද්‍රයා පෘථිවියට සමීප වීම ද විශේෂත්වයක්.

සඳ පෘථිවියට ළං වීම නිසා ඇති වන ගුරුත්වාකර්ෂණයේ වැඩි වීම මත වඩදිය මට්ටමේ වැඩි වීමක් ඇති විය හැකි නමුත් භූමි කම්පා, කුණාටු ඇති වන බවට වන කටකතා සත්‍යයෙන් තොර බව ද මහාචාර්යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ReeCha