අනුරවයි බිමල්වයි කමිටුවට කැඳවන්න හදපු සජබේ ප්ලෑන ගැන සුනිල් වටගල කියයි
සුනිල් වටගල මහතා පවසන්නේ, වත්මන් රජය කිසිදු ආකාරයකින් වංචාවට හෝ දූෂණයට සම්බන්ධ නොවන බවත්, රජය ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව හෘද සාක්ෂියට එකඟව දැඩි විශ්වාසයක් පවතින බවයි.
ස්වාධීන රූපවාහිනියේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, රජයක් ලෙස කිසිසේත්ම දූෂණයට ඉඩ නොතබන බවත්, ඉදිරියටද එවැනි ක්‍රියා සඳහා අවකාශ නොදෙන බවත්ය.
එහිදී අදහස් දැක්වූ ඔහු, සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අමාත්‍ය බිමල් රත්නායක මහතා කමිටුව හමුවට කැඳවීමට මෝසමක් ඉදිරිපත් කළ බවද සඳහන් කළේය.
කෙසේ වෙතත්, මේ වනවිට සාක්ෂිකරුවන් කිහිප දෙනෙකුගෙන් ලබාගත් සාක්ෂි අනුව එම දෙපාර්ශවය සිද්ධියට සම්බන්ධ බවට කිසිදු කරුණක් අනාවරණය වී නොමැති බවත්, ඒ හේතුවෙන් ඔවුන් කැඳවීමේ අවශ්‍යතාවක් නොමැති බව කමිටු බහුතරය තීරණය කළ බවත් ඔහු පැවසීය.
එහෙත් අනාගතයේදී අදාළ කරුණු සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු වුවහොත් ඔවුන් කැඳවීමේ හැකියාව කමිටුව සතු බවද ඔහු පෙන්වා දුන්නේය.
තවද, කමිටුවේ තොරතුරු රහසිගතව තබා ගැනීමට එකඟතාවයක් තිබුණද ජනතාව දැනුවත් කිරීමේ වගකීමක් තමන්ට ඇති බව සඳහන් කළ සුනිල් වටගල මහතා, විපක්ෂ මන්ත්‍රීවරුන්ට කමිටුව තුළ වැඩි අවස්ථාවක් හිමිව ඇති බවද කියා සිටියේය.
රජයට ලැබුණු ජනවරම ඉටු කිරීම සඳහා අතීතයේ සිටි දූෂිතයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත්, හිටපු ජනාධිපතිවරුන් හා වත්මන් මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන්ද අවශ්‍ය නීතිමය පියවර ගනිමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.