සුගීෂ්වර යළි රිමාන්ඩ්
ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගත් බවට සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා එළඹෙන ජුලි මස 08 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (01) නියෝග කළේය.
සැකකරු අද පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී, ඔහුගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ජුලි මස 08 වනදා ප්‍රකාශයට පත් කරන බව කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා දැනුම් දුන්නේය.
මේ අතර, මෙම සිදුවීමට අදාළ විමර්ශන සිදුකරන මධ්‍යම අපරාධ විමර්ශන අංශය අධිකරණයට ප්‍රකාශ කළේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන්ද ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බවයි.
ඒ අනුව ඇප නියෝගය ලැබෙන තෙක් සැකකරු එදින දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය.