ඥානසාර හිමියන් උදෙසා වැඩම කළ භික්ෂූන්ට දුන් කොටුව මහේස්ත්රාත් නියෝගයට එරෙහිව ගම්මන්පිලගෙන් රිට් පෙත්සමක්
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ‘ත්රස්තවාදයෙන් රාජ්යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතේ’ (Protection of the State from Terrorism Bill) ඇතැම් විධිවිධාන ආණ්ඩුක්රම ව්යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා හිටපු අමාත්ය උදය ගම්මන්පිල මහතා ශ්රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.
අදාළ පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර ඇති අතර, යෝජිත පනත් කෙටුම්පතේ ඇතැම් විධිවිධාන මගින් ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව පෙත්සම්කරු පෙන්වා දෙයි.
එම විධිවිධාන නීතියක් ලෙස බලාත්මක කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත කර ජනමත විචාරණයකින් ද අනුමත කළ යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙස ගම්මන්පිල මහතා ශ්රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.
මේ අතර, පසුගිය 16 වැනි සිකුරාදා කොළඹ කොටුව මහේස්ත්රාත්වරයා විසින් නිකුත් කරන ලද නියෝගයකට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කළ බව ද හිටපු අමාත්යවරයා සඳහන් කළේය. උලපානේ සුමංගල හිමියන් ඇතුළු 54 දෙනෙකුට කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය අසල රැඳී සිටීම වළක්වමින් මෙම නියෝගය නිකුත් කර තිබිණි.
බොදු බල සේනා (BBS) සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා මහනුවර සිට පා ගමනින් පැමිණි භික්ෂූන් වහන්සේලා පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැඳී සිටිමින් විරෝධතාවක නිරත වූහ.
එම විරෝධතාව පැවැත්වූ ස්ථානයේ භික්ෂූන් වහන්සේලාට තවදුරටත් රැඳී සිටීම තහනම් කරමින් සහ ඔවුන් එම ස්ථානයෙන් ඉවත් කරන ලෙස පොලිසියට නියෝග කරමින් කොළඹ කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතා අදාළ නියෝගය නිකුත් කර තිබිණි. මාධ්ය වෙත අදහස් දක්වමින් ගම්මන්පිල මහතා කියා සිටියේ, එම මහේස්ත්රාත් නියෝගයට එරෙහිව අද දින අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කළ බවයි.