මෙතෙක් ලබා දුන් මේ සහනාධාරය අහෝසි කරමින් පවුල් ලක්ෂ 4කට සහනාධාර කපයි
රජය විසින් පිරිනමනු ලබන අස්වැසුම සුභසාධන ප්රතිලාභ ලැයිස්තුවට ඇතුළත්ව සිටි මෙරට පවුල් 425000 ක් පමණ අද(30) වනදා සිට ක්‍රියාත්මක වන පරිදි එම නිල ලැයිස්තුවලින් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවි බල ගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පැවසීය.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙලෙස ප්රතිලාභ ලැයිස්තුවලින් අලුතින්ම ඉවත් කරනු ලබන්නේ ඉකුත් 2022 වර්ෂයේදී මෙරට ඇති වූ දරුණු ආර්ථික අර්බුදයත් සමඟ තාවකාලිකව දිළිඳු භාවයට පත්ව සිටි පවුල් බවයි.
මෙම පිරිස අස්වැසුම ව්‍යාපෘතියේ නිල ලැයිස්තුවල ආන්තික කණ්ඩායම වශයෙන් නම් කර සිටි බව පවසන අමාත්‍යවරයා එම සියලුම පවුල් පසුගිය දෙසැම්බර් මාසයේදී අස්වැසුම ලයිස්තුවලින් ඉවත් කිරීමට මූලිකව නියමිතව තිබුණ ද එකල මෙරටට බලපෑ දිට්වා සුළි කුණාටුව සමග ඇතිවූ දරුණු ආපදා තත්වය හේතුවෙන් ඔවුනට තවත් මාස 6 ක කාලයක් එම සහන ලැයිස්තුවල රැඳී සිටීමට මානුෂීය පදනමින් රජය විසින් විශේෂ අවසරයක් ලබා දුන් බව ද ප්‍රකාශ කළේය.
මෙලෙස ඉවත් කරන ලද පවුල් අතරින් බොහෝ දෙනෙකුට මේ දක්වා රජයෙන් රුපියල් 5000 ක පමණ මාසික ප්රතිලාභ දීමනාවක් අඛණ්ඩව ලැබී තිබේ.
මීට පෙර ද අස්වැසුම සහන ලැයිස්තුවල රැඳී සිටි සංක්‍රාන්තික කණ්ඩායමට අයත් පවුල් 400000 ක පමණ ප්‍රමාණයක් ද එම නිල ලැයිස්තු වලින් සාර්ථකව ඉවත් කිරීමට රජය කටයුතු කර තිබුණි.
මෙම නව සංශෝධනවලින් පසුව අස්වැසුම සුභසාධන ලැයිස්තුවල දැනට ඉතිරිව සිටින්නේ මෙරට සැබෑ ලෙසම අන්ත දිළිඳු සහ දිළිදු කාණ්ඩවලට අයත් පවුල් 1300000 ක් පමණක් බව ද අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා වැඩිදුරටත් පැවසීය.
නවතම රාජ්‍ය දත්ත ලේඛනවලට අනුව වර්තමාන අස්වැසුම ව්‍යාපෘතියේ අන්ත දිළිදු කාණ්ඩයට පවුල් 900000 කට වැඩි පිරිසක් ද දිළිඳු කාණ්ඩයට පවුල් 400000 කට වැඩි පිරිසක් ද නිල වශයෙන් ඇතුළත් වී සිටිති.
එහිදී රජයේ නව සහන සැලසුම් යටතේ ඉදිරියටත් අන්ත දිළිඳු පවුල් වෙනුවෙන් රුපියල් 17500 ක ඉහළ මාසික දීමනාවක් ද සාමාන්‍ය දිළිඳු පවුල් වෙනුවෙන් රුපියල් 10000 ක මාසික දීමනාවක් ද බැංකු පද්ධතිය හරහා සෘජුවම ගෙවනු ලබන බව ද අමාත්‍යවරයා තහවුරු කළේය.