කොරෝනාටත් වඩා දරුණු රෝගයක්.. පැය 48කින් මරණය.. ලංකාවට රතු එළියක්..
කොරෝනාවලටත් වඩා දරුණු විය හැකි මාරාන්තික Streptococcal Toxic Shock Syndrome (STSS) නමැති බැක්ටීරියාවක් ඕස්ට්‍රේලියාව හා ජපානය ඇතුළු රටවල ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙන බව වාර්තා වනවා.
මෙය ශ්‍රී ලංකාවටද ඇතුළු වීමේ අවදානමක් මතුවී ඇති බවයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවා ඇත්තේ.
විශේෂඥ වෛද්‍යවරු පවසන්නේ, මෙම බැක්ටීරියාව දරුණු ලෙස මිනිස් සිරුරට ඇතුළු වුවහොත් පැය හතළිස් අටක් ඇතුළත මිය යන බවයි.
ජපානයේ ශීඝ්‍රයෙන් පැතිර යන මෙම බැක්ටීරියාවට පෙරේදා (16දා) වන විට ගොදුරු වී සිටින ජපනුන් ගණන 977ක් බවයි, ජපන් සෞඛ්‍ය අංශ තහවුරු කර ඇත්තේ.
බැක්ටීරියාවට ගොදුරු වූ අයගෙන් 77 ක් මියගොස් ඇතැයි ජපන් සෞඛ්‍ය අංශ හෙළි කර තිබේ. 2024 ජනවාරි සිට මාර්තු අතර මෙම මරණ සිදුව ඇත.
ශරීරයේ මාංසපේශි දියවන මෙම බැක්ටීරියාව මේ වන විට ජපානය තුළ ශීඝ්‍රයෙන් පැතිර යන අතර ඉදිරි මාස හය තුළ තවත් එක්දහස් පන්සියයකට පමණ රෝගය ව්‍යාප්ත විය හැකි බවටයි පුරෝකතනය කර ඇත්තේ.
මෙම බැක්ටීරියාව කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝවිය හැකි බැවින් එය වළක්වා ගැනීමට එරට සෞඛ්‍ය අංශ මේ වන විටත් පියවර ගනිමින් සිටින බවයි පැවසෙන්නේ.
මෙම රෝගයේ ලක්ෂණ වන්නේ උගුර තුවාල වීම, අතපය වේදනාව, අඩු රුධිර පීඩන තත්ත්වයක් ඇති වීම, සිරුරේ අවයව ක්‍රියාකාරීත්වය අඩපණවීම හා සිරුර ඉදිමීම ආදිය බවයි, වෛද්‍යවරු පවසන්නේ.
ජපාන සංචාරකයන් සැලකිය යුතු මට්ටමකින් මෙරට සංචාරය සඳහා පැමිණීමත් මෙරටින් එරටට පිරිස් යෑමත් ආදී කාරණා නිසා මෙම මාරාන්තික බැක්ටීරියාව ශ්‍රී ලංකාවට ඇතුළු වීමට ඉඩ ඇති බවයි, මෙරට සෞඛ්‍ය අංශ කියා සිටින්නේ.
රට තුළ බරපතළ ආර්ථික අර්බුදයක් නිර්මාණය වී තිබීමත්, සෞඛ්‍ය අංශයේ කඩා වැටීමත් යන කාරණා සලකා බලන විට පැය හතළිස් අටකින් මියයා හැකි මෙවැනි බැක්ටීරියාවක් රටට ඇතුළු වීම වළක්වාලීමට සෞඛ්‍ය බලධාරීන් වහා පියවර ගත යුතුව ඇතැයි, වෛද්‍යවරු අනතුරු අඟවයි.
කෙසේවෙතත් තවමත්, මෙය ගෝලීය වසංගත තත්ත්වයකට පත්ව නොමැති බවයි, මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වමල් විජේසිංහ මහතා කියා සිටින්නේ.
ඒ නිසා ශ්‍රී ලංකාවේ අය මේ පිළිබඳ අනියත බියක් ඇති කරගත යුතු නැතැයි ද ඒ මහතා කියා සිටිනවා.
මෙවැනි මාරාන්තික බැක්ටීරියාවක් ජපානයේ පැතිර ගියත් ලෝක සෞඛ්‍ය සංවිධානය මේ පිළිබඳ තවමත් කිසිවක් ප්‍රකාශ කර නැතැයි ද වෛද්‍ය වමිල් විජේසිංහ මහතා අවධාරණය කරයි.
යම්කිසි ආකාරයකට මෙම බැක්ටීරියාව රටට ඇතුළු වුවත් ඒ පිළිබඳ සෞඛ්‍ය බලධාරීන් අවශ්‍ය පියවර ගැනීම සඳහා නිරන්තර අවදියෙන් සිටින බවද ඒ මහතා කියා සිටියේය .
ඒ නිසා ජපානයේ හා ඕස්ට්‍රේලියාවේ පැතිර ඇතැයි කියන මෙම බැක්ටීරියාව පිළිබඳ කිසිවකු අනියත බියක් ඇති කරගත යුතු නැතැයි යන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස්ථාවරය බවද ඒ මහතා අවධාරණය කළේ ය .