පාතාල සංස්කෘතිය රජයි, ප්‍රජාතන්ත්‍රවාදය විනාශයි - සජිත් ප්‍රේමදාස
රටේ බලය සියලුම තලවල තිබියදීත් වත්මන් රජය පොරොන්දු වූ සහන, සංවර්ධනය හෝ සේවා කිසිවක් ඉටුකර නොමැති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මැදකොළඹ මාලිගාවත්ත සහ ඛෙත්තාරාම කොට්ඨාසවල සමගි ජන බලවේග ජනහමුවකදී පැවසීය.
“සංවර්ධනය වෙනුවට අද රටේ ක්‍රියාත්මක වන්නේ පාතාල සංස්කෘතියයි” යැයි ඔහු චෝදනා කළේය.
ජනතාව ගෙදරින් එළියට බහින විට නැවත ගෙදර එනවාද යන්නට විශ්වාසයක් නැති බවත්, වෙඩි තැබීම්, ඝාතන හමුවේ සමාජ ආරක්ෂාව හා ජාතික ආරක්ෂාව අහිමි වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
“නීතිය හා සාමය මැර කල්ලිවලට, පාතාලයට බදු දී තිබේ” යැයි ද ඔහු කීවේය.
ප්‍රජාතන්ත්‍රවාදය “වළ පල්ලට ඇද දමා” තනි පක්ෂ පාලනයකට රට ගෙන යන බවත්, ප්‍රාදේශීය සභා සභාපතිවරුන් ඝාතනය, විපක්ෂ මන්ත්‍රීන්ට මරණ තර්ජන එල්ල වීම මගින් පාතාලය සමාජය පාලනය කරන තත්ත්වයට රට වැටී ඇති බවත් ඔහු චෝදනා කළේය. “පාතාලය පාලනය කරන විට ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වීමේ වාසිය ලබන්නේ තනි පක්ෂ පාලනයට උත්සාහ කරන මේ රජයටයි” යැයි ද ඔහු පැවසීය.
නීතිය කැළෑ නීතියක් වී යුක්තිය හා සාධාරණත්වය අහිමි වී ඇති බවත්, සිවිල් සංවිධාන දේශපාලනීකරණය කරමින් රජය සමස්ත සමාජය අතට ගැනීමට උත්සාහ කරන බවත් ඔහු චෝදනා කළේය. “එසේ කළත් මිනිමැරුම්, කුඩු, පාතාලය නතර කළ නොහැකි වී ඇත” යැයි ද ඔහු කීවේය.
“කුඩු හා පාතාලය මර්දනය කරනවා යැයි කියනවා නම් හොඳයි. නමුත් වෙඩි තැබීම්, ඝාතන නතර විය යුතුයි. මන්ත්‍රීන්ට, ජනතාවට සේවය කිරීමේ අවස්ථාව ලැබිය යුතුයි” යැයි ඔහු අවධාරණය කළේය.
ඡන්ද 3ක් පැවැත්වූ බැවින් වෙනත් කල්ලි සිටිය නොහැකි බවත්, ජනාධිපති, අගමැති, නගරාධිපති, කැබිනට් ඇමතිවරු ජවිපෙයි බැවින් වගකීම ඔවුන් සතු බවත්, බොරු කතා නොකියා රජයේ යුතුකම ඉටුකර මහජන නියෝජිතයන්ට ආරක්ෂාව සැලසිය යුතු බවත් විපක්ෂ නායකවරයා තරයේ අවධාරණය කළේය.