මුහුණට වාෂ්ප ඇල්ලීමෙන් ලැබෙන ප්‍රතිලාභ 4 ක්

Covid 19 facial tips Steam
By Sithumi Nov 01, 2021 02:45 PM GMT
Sithumi

Sithumi

Report

ලස්සන කාන්තාවකට ආභරණයකි. ඒ නිසාම කාන්තාවන් තමන්ගේ රූප සම්පත්තිය ආරක්ෂා කරගන්නට වගේම තවත් ලස්සන කරගන්නට නොයෙකුත් සත්කාර ක්‍රම උත්සාහ කරනු දැකිය හැකියි.පොදුවේ බොහෝ කාන්තාවන්ට ඇති රූපලාවන්‍ය ගැටලු අතර කුරුලෑ, සමේ අවපැහැය, ලප කැලැල් වගේම සුන්දර සිනහවට බාධා කරමින් දත් දුර්වර්ණ වීම යන ගැටලු ප්‍රධාන වශයෙන් හඳුනාගත හැකියි. මෙවැනි ගැටලු සඳහා මිලෙන් අධික ප්‍රතිකාර සඳහා ඇතැම් කාන්තාවන් යොමු වන බව දක්නට ලැබේ. 

නමුත්, වැඩි වියදමක් නොකර රූපය ලස්සන කරගන්න හැකි ක්‍රම බොහෝ ඇත. ‘ස්ටීමිං’ හෙවත් මුහුණට වාෂ්ප ඇල්ලීම යනු එවැනි අඩු වියදම්-ඵලදායි රූපලානව්‍ය ක්‍රමයකි.මේ ක්‍රමය හරහා ඔබේ සමට හොඳ සත්කාරයක් ලබාදෙන අතර මින් බොහෝ ප්‍රතිලාභද ඔබට ලැබෙනවා. 

අපි බලමු ඒවා මොනවාද කියලා.

1.ඔබේ සම ගැඹුරින් පවිත්‍ර කරවයි

වාෂ්ප ඇල්ලීමේදී සමේ සිදුරු විවෘත වී ‍රැඳී ඇති කුණු දුහුවිලි සහ මැරුණු සෛල ඉවත්කරමින් සම ගැඹුරින් පිරිසිදු කරයි.සමේ සිදුරු විවෘතවන විට සම මතුපිට ඇති වයිට් හෙඩ්ස් හා බ්ලැක්හෙඩ්ස් ලිහිල්වේ. 

එවිට ඒවා පහසුවෙන් ඉවත්කරගැනීමට හැකිවේ.වාෂ්ප ඇල්ලීමෙන් සමේ අපහසුතා සහ ආසාදන ඇතිවීම බොහෝදුරට වළක්වාගත හැකියි. එමෙන්ම සමේ සිදුරු තුල සිරවී ඇති තෙල් (ස්නේහක ද්‍රව්‍ය) ඉවත්වීමට ද ඉන් සහය ලැබේ.

මෙම තෙල් සමට හා හිසකෙස් වලට ආරක්ෂාව ලබාදෙන ස්වභාවික ශරීර තෙල් ශ්‍රාවයකි. නමුත්, මේවා සමේ සිදුරු තුල සිරවී යාමෙන්, එහි බැක්ටීරියා ක්‍රියාකාරීත්වයක් වර්ධනය වී කුරුලෑ හා බ්ලැක්හෙඩ්ස් වැනි චර්ම ගැටලු හටගැනීමට ඉඩ ඇත.

වාෂ්ප ඇල්ලීමෙන් එසේ සම ගැඹුරින් පිරිසිදුකර සමේ ගුණාත්මක බව සහ දීප්තිමත් පෙනුම වැඩිදියුණු කරවයි.

ඔබේ සමේ කොලැජන් සහ ඉලාස්ටින් නිෂ්පාදන ක්‍රියාවලිය වැඩිදියුණු කරවයි 

මුහුණට වාෂ්ප ඇල්ලීමේදී, සමේ රුධිර ප්‍රවාහය වීම වැඩිවී ,සමට අත්‍යාවශ්‍ය කොලැජන් සහ ඉලාස්ටින් නිෂ්පාදනය වැඩිවීමට උපකාර කරයි.මින් ඔබේ සමේ සවිමත් බව වැඩිවීම සිදුවන අතර සම එල්ලා වැටිම-‍රැළිවැටීම වැළකී සමේ තරුණ පෙනුම ආරක්ෂා කරයි.

නාසයේ අවහිරතා දුරුකරයි

නාසයේ බරගතිය දුරුකරගැනීමට වාෂ්ප ඇල්ලීම ප්‍රත්‍යක්ෂ විසඳුමකි. ඉන් ශ්ලේෂ්මල පටල වල තෙතමනය ඇතිකර සයිනස අවහිරවීම් රෝග ලක්ෂණ සමනය කරයි.වාෂ්ප ආග්‍රහණය කිරීම, උණුසුම් වතුරෙන් ස්නානය කිරීම හෝ හියුමිඩිෆයර් උපකරණයක් භාවිතා කිරීම වැනි විකල්ප ක්‍රම භාවිතා කළ හැකිය.

සම සැහැල්ලු කර සමනය කරවන සුලු සංවේදනයක් ඇතිකරයි 

සමේ ගුණාත්මක බව හා නීරෝගිබව වැඩිකිරීමට අමතරව , මුහුණට වාෂ්ප ඇල්ලීම ඔබේ සංවේදනයන් සැහැල්ලු කිරීම ද සිදුකරයි.එසෙන්ෂියල් ඔයිල් හෝ ස්වභාවික ඖෂධ වර්ග උණු සජලය මුසු කරමින් වාෂ්ප ආග්‍රහණය කරන්න.

මින් ඔබට හොඳ සන්සුන් ගතියක් -ලිහිල් බවක් දැනෙනු ඇත. වාෂ්ප ඇල්ලීම නිවැරදිව සිදුකරන්නේ කොහොමද?

උණු වතුර බඳුනට ඉහළින් මුහුණ හොවාගෙන සිටිමින් වාෂ්ප ආග්‍රහණය කරන්න

කොණ්ඩය මුහුණට නොවැටෙන සේ ගැටගසාගන්න. මුහුණ සහ ගෙල ප්‍රදේශය සමේ මැරුණු සෛල ඉවත්කරන මෘදු ක්ලෙන්සර් වර්ගයක් භාවිතා කරමින් සෝදා පිරිසිදු කරගන්න. නටන උණු වතුර බඳුනට ඔසු පැළෑටි කිහිපයක් එක්කර ලිපෙන් ඉවත් කර මිනිත්තු 2-3 ක් මද ගින්නේ තැම්බෙන්නට ඉඩහරින්න. බේසමකට වතුර දමන්න. ලැවෙන්ඩර්, යුකැලිප්ටස්, ජෙරේනියම් සහ දොඩම් වැනි එසෙන්ෂියල් ඔයිල් වර්ග අතරින් කැමති වර්ගයකින් බිංදු කිහිපයක් ජලයට එක්කරන්න. 

 වාෂ්ප පිටට නොයන ලෙසින් හිසට උඩින් තුවායක් එලාගනිමින් මුහුණ බේසමට උඩින් හොවාගන්න. වතුර රත් වී ඇති නිසා ප්‍රවේසම් වීමට වගබලාගන්න.බේසමට අඟල් 6 ක් පමණ ඉහළින් මුහුණ අල්ලාගෙන සිටින්න. දැන්, මිනිත්තු 5-10 ක් පමණ හොඳින් මුහුණට වාෂ්ප අල්ලන්න. 

 උණුසුම් තුවායකින් මුහුණ සම්බාහනය කිරීම

මුහුණට කෙස් නොවැටෙන සේ ගැටගසා, මුහුණ හා ගෙල ප්‍රදේශය ක්ලෙන්සර් භාවිතයෙන් පිරිසිදු කරගන්න. තුවායක් ගෙන උණුවතුරේ පොඟවා, අතිරික්ත ජලය මිරිකා හරින්න. උඩු අතට මුහුණ යොමුකරමින් පු‍ටුවක වාඩිවෙන්න හෝ ඇඳක් මත වැතිරෙන්න. තෙත් කරගත් උණුසුම් තුවාය මුළු මුහුණම ආවරණය වන සේ , නාසය පමණක් ඉතිරි කර සම මත එලාගන්න. මිනිත්තු 5 ක් පමණ මෙසේ සැහැල්ලුවෙන් සිටින්න.

තුවාය උණු වතුරෙන් පොඟවා ගත්තද, මුහුණ මත තැබීමට පෙර තුවාය සිසිල් වී උණුසුම් මට්ටමේ තිබිය යුතුය. 

 ‘ෆේෂල් ස්ටීමර්’ භාවිතය 

රූපලාවන්‍යාගාර වල ඔබ මෙම උපකරණය දැක ඇති. මෙවැනි උපකරණයක් වෙළඳපොලෙන් ඔබට මිලදී ගන්නත් පුළුවන්. මෙය භාවිතා කිරීමේදී ද, පළමුව මුහුණ සහ ගෙල ක්ලෙන්සර් භාවිතයෙන් පිරිසිදු කරගන්න. ස්ටීමර් එකට වතුර පුරවා වාෂ්ප නිකුත් වීමට පටන්ගත පසු, එයට අඟල් 5-10 ක් පමණ ඈතින් සිට මිනිත්තු 2-3 ක් පමණ වාෂ්ප අල්ලන්න. මිනිත්තුවක පමණ විරාමයක් අතරමැදදී ලබාගන්න.වාෂ්ප ඇල්ලීමේදී ඔබට අපහසුවක් ඇතිවේදැයි සැළකිලිමත් වන්න. 

 *මෙම සත්කාර දිනපතා භාවිතයට පෙර නිසි වෛද්‍ය උපදෙස් ලබාගැනීමට සැළකිලිමත්වන්න