පරිස්සමෙන් කාන්තාවන් මත්කර මුදල් කොල්ලකන නවතම ජාවාරම
කොළඹ ජාතික රෝහලේ සායනවලට පැමිණෙන කාන්තාවන් මත්කර ඔවුන් සතු මුදල් සහ රන් ආභරණ සොරා ගන්නා සිද්ධියක් වාර්තාවී තිබෙනවා.
එම සිද්ධියට සම්බන්ධ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි මරදාන පොලීසිය සඳහන් කළේ.
එම සැකකරු සහ සැකකාරිය එක්වී එලෙස සොරාගෙන තිබූ රුපියල් ලක්ෂ 12ක් පමණ වටිනා රන් ආභරණ වැලිගම ප්‍රදේශයේ රන් භාණ්ඩ මිලදී ගන්නා ස්ථානයකට විකුණා තිබෙනවා.
එම රන් භාණ්ඩ අදාළ ව්‍යාපාරිකයින් විසින් උණුකර තිබියදී සොයාගත් බව පොලීසිය සඳහන් කළ අතර සායන ආසන්නයේ තබා තිබෙන පුටුවක් හෝ බංකුවක් මත රැඳී සිට එම සායනවලට සහභාගීවීමට පැමිණි වයෝවෘද්ධ සහ මැදිවියේ කාන්තාවන් ඉලක්ක කර මෙම ක්‍රියාව සිදුකර තිබෙනවා.
ඔවුන්ව උපක්‍රමශිලීව එම ස්ථානයෙන් පිටතට කැඳවාගෙන ගොස් ඔවුන්ට ආහාර පාන සමග මිශ්‍ර කරන ලද මත්ද්‍රව්‍ය ලබාදී මත්වීමෙන් පසු සැකකරුවන් විසින් මෙලෙස රන් ආභරණ සහ මුදල් කොල්ලකා තිබෙනවා.
පැමිණිලි 03ක ඔස්සේ සිදුකරන ලද දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාර යුවළ අඹු - සැමියන් නොවන අතර ඔවුන් දෙදෙනා බොරැල්ල ප්‍රදේශයේ බෝඩිමක රැඳීසිටිමින් මෙම ජාවාරම සිදුකර ඇති අතර සැකකරු සහ සැකකාරිය අහංගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 සහ 42 යන වයස්වල පසුවන්නන් වනවා.
මරදාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉශාන්ත කුමාර මහතාගේ උපදෙස් මත ඉදිරි පරීක්ෂණ පැවැත්වෙනවා