කෝටි ගානක වටින මුදල් රන්භාන්ඩයේ කොල්ලයක් අල්ලයි..

CID - Sri Lanka Police Sri Lanka Police Sri Lanka
By Sithumi Jul 03, 2023 05:34 PM GMT
Sithumi

Sithumi

Report

 ඌරුබොක්ක, හුලංකන්ද පාර ප්‍රදේශයේ පිහිටි ව්‍යාපාරිකයෙකුගේ නිවසකට ඇතුළුවී රුපියල් කෝටියක මුදල්, රන් භාණ්ඩ සහ ජංගම දුරකථන කොල්ලකෑමේ සිද්ධියට සැකපිට දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (03) පස්වරුවේ ඌරුබොක්ක පොලීසිය විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබී කොල්ලකන ලද මුදල්වලින් රුපියල් විසිහතර ලක්ෂයකට අධික මුදලක් සහ කොල්ලකන ලද රන් භාණ්ඩවලින් කොටසක්ද පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

පසුගිය 11 වනදා ඌරුබොක්ක, හුලංදාවේ පිහිටි ව්‍යාපාරිකයෙකුගේ නිවසකට ඇතුලුවූ සිව්දෙනෙකුගෙන් යුත් කොල්ලකල්ලියක් රුපියල් එක්කෝටි එක්ලක්ෂ අනුතුන්දහසක මුදල්, රන් භාණ්ඩ සහ ජංගම දුරකථන කොල්ලකා පළාගොස් තිබුණා. මෙලෙස කොල්ලකා ඇත්තේ, රෝගාතුරව සිටින සිය පුත්‍රයාගේ සැත්කම සඳහා තමා සන්තකයේ තිබූ මුදල් බවයි ව්‍යාපාරිකයා පැවසුවේ. 

  මෙම ව්‍යාපාරිකයාගේ රෝගීවී සිටින පුත්‍රයාගේ සුවදුක් විමසීමට 11 වනදා  උදෑසන 11ට පමණ ඥාතීන් සිව්දෙනෙක් ඔහුගේ නිවසට පැමිණ  තිබුණා.

  ඒ අතරතුර රතු පැහැති මෝටර් රථයකින් නිවසට පැමිණි පුද්ගලයින් සිව්දෙනෙක් පිස්තෝල සහ තියුණු ආයුධවලින් සන්නද්ධව නිවස තුළට ඇතුළු වී තිබෙන අතර ඔවුන්ගෙන් එක් අයෙක් පමණක් මුහුණ ආවරණය කර සිට ඇති අතර, ඔවුන් නිවැසියන් හා පැමිණ සිටි ඥාතීන් ඇතුළු පුද්ගලයින් 9 දෙනා බිය ගන්වා, කාමර 2ක සිරකර ඔවුන් සතුව තිබූ පවුම් 4ක රන් භාණ්ඩ හා ජංගම දුරකථන 3ක් පැහැරගෙන තිබෙනවා කොල්ලය සිදුවන අතරවාරයේ තවත් ඥාතී යුවළක්ද නිවසට පැමිණ ඇති අතර, ඒ අතරින් පිරිමි පුද්ගලයා කොල්ලකරුවන්ගේ ග්‍රහණයට හසුවෙද්දී කාන්තාව පැනගොස් තිබෙනවා.

අනතුරුව ඔවුන් නිවසේ කාමරයක තිබූ රුපියල් අනුඅට ලක්ෂ පනස් දහසක මුදලක් ද කොල්ලකා ඇති බව පොලීසිය පවසනවා.

කොල්ලකරුවන් මිනිත්තු තිහකට වැඩි කාලයක් නිවසේ රැඳීසිට ඇති අතර, පැහැරගත් රන්භාණ්ඩ අතරින් කුඩා දරුවෙකුගේ ගෙල බැඳි රන් මාලයක් පමණක් යළි ලබාදී, ඔවුන් පැමිණි මෝටර් රථය යළි එහි ගෙන්වාගෙන පළාගොස් ඇති බව පොලීසිය පැවසුවා.

රෝගීවී සිටින සිය පුත්‍රයාගේ සැත්කමක් සඳහා සහ ව්‍යාපාරික කටයුත්තක් සඳහා අවශ්‍ය මුදල් නිවසේ තිබූ බව ව්‍යාපාරිකයා පැවසූ අතර මෙම කොල්ලය සඳහා පැමිණි සැකකරුවන් සොයා සිදුකරන ලද විමර්ශණවලදී අනාවරණය කර ගත් තොරතුරු මත මංකොල්ලය සැලසුම්කළ බව පවසන ප්‍රධාන සැකකරුගේ ඕමල්පේ ප්‍රදේශයේ නිවස ඉදිරිපිට තිබූ තේ ඉඩමේ පොලිතින් බෑගයක දමා වළ දමා තිබියදී රුපියල් 1,265,000 මුදලක් සොයාගෙන තිබෙනවා. 

  කෙසේවෙතත් සැකකරු එම ප්‍රදේශයෙන් පළාගොස් තිබීම හේතුවෙන් ඔහුගේ බිරිඳ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණු අතර තවත් සැකකරුවෙකු මිද්දෙනිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහු සන්තකයේ තිබී රුපියල් 1,179,000.00 මුදලක් සහ පැහැර ගන්නා ලද රන්භාණ්ඩවලින් රන් මාල දෙකක් සහ පෙන්ඩනයක් සොයා ගෙන තිබෙනවා. කොල්ලය සඳහා පැමිණි සැකකරුවන් මේ වන විට පොලීසිය විසින් හඳුනාගෙන ඇති අතර ප්‍රධාන සැකකරු පොලීසිය මඟහරිමින් සැඟව සිටින බවට වාර්තා වෙයි. 

මේ අතර කොල්ලකරුවන් පැමිණි මෝටර් රථයද වලස්මුල්ල ප්‍රදේශයේ තිබී පොලීසිය විසින් සොයා ගෙන ඇති අතර එය වලස්මුල්ල ප්‍රදේශයේ පොලිස් නිලධාරියෙකුගේ බිරිඳට අයත් මෝටර් රථයක් බවත් කොල්ලකරුවන් කුලී පදනම මත රැගෙන විත් ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

 අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය මොරවක මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඌරුබොක්ක පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකළා.