මවගේ දේහය මල් ශාලාවක තිබියදී පාසලේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රීඩා කළ ඉසිපතනේ රග්බි වීරයා... (PHOTOS)

Sri Lanka
By Sithumi Jul 01, 2023 05:00 PM GMT
Sithumi

Sithumi

Report

අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලය සමග අද පැවති තරගය ලකුණු 28ට 18ක් ලෙස ජය ගැනීමට අපරාජිත ඉසිපතන විද්‍යාලය සමත්වුණා. මේ තරගයේ තවත් සැගවුණු කතාවක් තියෙනවා.

ඉසිපතන කණ්ඩායම නියෝජනය කළ හේෂාන් රන්දිමාල් මෙම තරගයට සහභාගි වුණේ මහමෙරක් තරම් දුකක් හිතේ දරාගෙනයි. ඒ සිය මවගේ වියෝව හේතුවෙන්. තමා පණමෙන් ආදරය කළ මවගේ වියෝවේ දුක දරාගෙන හේෂාන් රන්දිමාල් අද තරගයට ක්‍රීඩා කළේ තම මවගේ දේහය කොළඹ මල්ශාලාවක තැන්පත්කර තිබියදීයි.

කාටද ඒ වගේ දෙයක් කරන්න පුළුවන්. රන්දිමාල් පාසල වෙනුවෙන් සහ අම්මා වෙනුවෙන් ඒ ගත්ත තීරණය ගැන අද හැමෝම කතාවෙනවා.

රන්දිමාල්ගේ රග්බි ගමනට වැඩියෙන්ම උපකාර කරල තිබුණේ ඔහුගේ මව. ඔහුගේ මව අද තරගය බලන්න ජීවත්ව නොහිටියත් රන්දිමාල් ඇය වෙනුවෙන් පිටියට බැස්සා. අද තරගයේදී ඉසිපතන විද්‍යාලය වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කළේත් හේෂාන් රන්දිමාල්. මොන තරම් හිත හයිය කොල්ලෙක්ද?

අද තරගයෙන් අනතුරුව ඉසිපතන කණ්ඩායමේ ප්‍රතිවාදීන් වූ මරදාන ශාන්ත ජෝසප් ක්‍රීඩකයින් රන්දිමාල්ගේ මවගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණියේ ක්‍රීඩාවේ සහෝදරත්වය සහ මනුසත්කම ලොවට මනාව කියා පාමින්. පිටියේදී ප්‍රතිවාදීන් වුවත් ඉන් ඔබ්බට සියළු ක්‍රීඩකයන් සහෝදරයන් බව ඔප්පු කළ ශාන්ත ජෝශප් කණ්ඩායමටත් හිසනමා ආචාර කළ යුතුයි.

රන්දිමාල්ගේ මව ඊයේ මෙලොවින් සමුගත් අතර ඇයගේ දේහය පිළිබද අවසන් කටයුතු ඉරිදා සිදු කිරීමට නියමිතයි. රන්දිමාල්, ඔයා කාටත් කරන්න බැරි වැඩක් කළා. ඔයා අද කළ ඒ වීරක්‍රියාව සහ ඔයාගේ ධෛර්යවන්ත හිත දිහා බලාගෙන අම්මා කොහේ හරි ඉදන් ගොඩක් සතුටුවෙනවා ඇති... රන්දිමාල්, ඔබේ මවට නිවන් සුව !!!