රිළා ගැටලුවට විකල්ප කිහිපයක්..

Government Of Sri Lanka
By Sithumi Apr 17, 2023 03:27 PM GMT
Sithumi

Sithumi

Report

රිළවා යනු ශ්‍රී ලංකාවට ආවේණික සත්ත්ව කොට්ඨාසයක් වන අතර කෘෂිකර්ම දෙපාර්තමේන්තු දත්තවලට අනුව මෙරට රිළා ගහනය ලක්ෂ 30 කට අධිකයි. 

 කෙසේවෙතත් වගාවන්ට සිදුකරන හානියත්, බෝවීම අධික බවත් හේතුවෙන් මේ වනවිට රිළා ගහනය දැඩි ගැටලුවක් බවට පත්වී තිබෙනවා. මෙවන් වාතාවරණයකදීයයි චීනයේ සත්ත්වෝද්‍යාන සඳහා මෙරට රිළවුන් ලක්ෂයක් යැවීමේ යෝජනාවක් ඉදිරිපත්වූයේ. ඊට පරිසර හා සත්ත්ව සංවිධාන විරෝධය පළ කරන පසුබිමක රිළා ගහනය අඩුකිරීම හදිසි අවශ්‍යතාවක් වී ඇති බව ගොවිජන සංවර්ධන බලප්‍රදේශවල ගොවීන් ද පෙන්වා දෙනවා.


 
කෘෂිකර්ම දෙපාර්තමේන්තු වාර්තාවන්ට අනුව 2022 වසරේ මුල් මාස 06 තුළ ආහාර බෝග 28ක නිෂ්පාදන මෙට්‍රික් ටොන් 144,989 ක් සහ පොල් ගෙඩි මිලියන 93 ක් 'වන සත්ත්ව හානි' මගින් විනාශ වී ඇති අතර දළ වශයෙන් රුපියල් මිලියන 30,000 කට අධිකව එම හානිය ගණනය වනවා. මින් වැඩිම හානිය සිදුවී ඇත්තේ රිළවුන්ගෙන් බව වාර්තා  පෙන්වා දෙනවා.

පිළිවෙළින් පොල්, එළවළු, වී, කෙසෙල් සහ බඩඉරිඟු යන වගාවලට රිළවා වැඩි වශයෙන් හානි කර තිබෙනවා. ගොවිජන සංවර්ධන බලප්‍රදේශ 200 කට ආසන්න ගණනක රිළවුන් වගා හානි සිදුකර ඇති අතර දත්ත වාර්තාවන්ට අනුව දඬුලේනා, ඉත්තෑවා, වල් ඌරා, වන අලියා, මොණරා ආදි සතුන්ගෙන් සිදුව ඇති හානිය රිළවුන්ට සාපේක්ෂව පවතින්නේ අඩු අගයකයි.

මෙම සැබෑ ගැටලුවට ක්‍රියාත්මක කළ හැකි මානුෂිය විසඳුම් පවතින බවයි සංශෝධිත සත්ත්ව සුබසාධන පනත් කෙටුම්පත සකස් කිරීමට දායක වූ පශු වෛද්‍ය චමිත් නානායක්කාර මහතා පෙන්වා දෙන්නේ. "රිළා ගහනය පාලනය කිරීම‍ෙ ගැහැණු සතුන් සඳහා වඳ සැත්කම්, රිළා පිරිමි සතුන් සඳහා නාලය ගැට ගැසීම වැනි මිනිසුන්ට කරන ක්‍රමවේද අනුගමනය කරන්න පුළුවන්.

 ඒ වගේම සතුන්ට වඳ පෙති ලබා දෙන්න පුළුවන්. ඒ වගේම වඳුරන් වගාවලට එනකොට උන් පළවා හරින්න විවිධ ක්‍රමවේදයන් තිබෙනවා.   ඒ කියන්නේ විද්‍යුත් උපකරණ පාවිච්චි කරලා ශබ්ද ඇති කරලා මේ සත්තු පලවාහරින ක්‍රම තිබෙනවා. මේ කළු මුහුණක් තිබෙන වඳුරාව පුහුණු කරලා තියෙනවා ඉන්දියාව.. වගාවට හනි කරන වඳුරු රිළවු පළවාහරින්න.

 Monky Puzzle Tree යන ශාකය වගාබිම්වල වගා කරනවා ඒ සතුන පළවා හරින්න. මේ සතුන එම ශාකයට බියක් දක්වනවා." රජය සතුවයි කෙසේ වෙතත් රිළා ගහනය පාලනය සඳහා ගන්නා පියවර මෙන්ම චීනයේ සත්වෝද්‍යාන සඳහා රිළවුන් ලක්ෂයක් යැවීමේ අවසන් තීරණය පවතින්නේ. ඒ අනුව මේ පිළිබඳ රජයේ ස්ථාවරය අප කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් විමසා සිටියා. චීනයට ශ්‍රී ලංකාවෙන් රිළවුන් ලබාදිය හැකි වන්නේ ඒ සම්බන්ධව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත පත්කරන කමිටුව නිර්දේශ කළහොත් පමණක් බවයි එහිදී ඔහු පැවසුවේ.