මැන්ඩවුස් අවදානම්.. මරණ තුනයි.. අවධානයෙන් සිටින්නැයි උපදෙස්..

By Sithumi Dec 09, 2022 05:35 PM GMT
Sithumi

Sithumi

Report

මැන්ඩවුස් චණ්ඩ සුළි කුණාටුව හේතුවෙන් මේ වනවිට මරණ 03 ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.  

ඉන් නිවාස 1,300කට පමණ හානි සිදුවී ඇති අතර බලංගොඩ කුබුල්මුල්ල මොරහැල ප්‍රදේශයේ තම ගෙවත්තේ තේ දළු නෙලමින් සිටි 51හැවිරිදි කාන්තාවක් මතට ගිනිකූරු ගසක අත්තක් කඩාවැටීමෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. 

  කුණාටුව නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සිට අද (09) රාත්‍රියේදී ඉන්දියාවේ තමිල්නාඩු දෙසට ගමන් කරනු ඇති බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.  

මේ අතර කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 40ත් 50ත් පමණ වන අතර විටින්විට එය පැයට කිලෝ මීටර් 60ත් 70ත් දක්වා වැඩි විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.  

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ''මැන්ඩවුස් '' සුළි කුණාටුව අද සවස 2.30 පමණ වන විට යාපනයේ සිට කිලෝමීටර් 250ක් පමණ උතුරට බරව ඊසාන දෙසින් ස්ථානගතව පැවතුන බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළ අතර එම පද්ධතිය වයඹ දෙසට ගමන් කර අද රාත්‍රී කාලය වනවිට නිරිත දිග බෙංගාල බොක්ක හරහා උතුරු තමිල්නාඩු, පුදුචේරි සහ දකුණු ආන්ද්‍රා ප්‍රදේශ වෙරළ තීර හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා.