කැළණිතිස්ස දවසකට නවති..

By Sithumi Jan 13, 2023 01:51 PM GMT
Sithumi

Sithumi

Report

 කැලණිතිස්ස බලාගාරයේ කටයුතු අත්හිටුවීමකින් තොරව පවත්වාගෙන යාම සඳහා අද දිනයට පමණක් ප්‍රමාණවත් නැප්තා ඉන්ධන ලබාදීමට කටයුතු කර තිබෙන අතර කැලණිතිස්ස බලාගාරය සතුව තිබූ නැප්තා ප්‍රමාණය අවසන්වීම හේතුවෙන් ඊයේ රාත්‍රියේ සිට එහි කටයුතු අත්හිටුවීමටයි තීරණය කර තිබුණා.

  ඒ අනුව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව අද දිනයට ප්‍රමාණවත් නැප්තා ලීටර් මිලියන 1.15 ක් ලබාදී තිබෙන අතර විදුලි ඉංජිනේරුවරුන් පවසන්නේ ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතුව තවත් නැප්තා ලීටර් මිලියන 5.35 ක් ඇතත් ඒවා ලබාදීමට මෙතෙක් එකඟවී නොමැති බවයි.  

පවතින අර්බුදය සම්බන්ධයෙන් නෙත් නිවුස් සොයා බැලීමක් සිදුකළා. ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මුදල් ගෙවීමකින් තොරව ලංකා විදුලි බල මණ්ඩලයට නැප්තා ලබානොදීමට තීරණය කර ඇති බවයි එහිදී අනාවරණ වුණේ කෙසේවෙතත් දැනට පවතින නැප්තා ඉන්ධන තොගය අවසන් වූ පසු කැලණිතිස්ස බලාගාරය ක්‍රියාවිරහිත කරන බව විදුලිබල මණ්ඩලය පවසනවා. 

 සභාපති නලින්ද ඉලංගකෝන් පැවසුවේ දැනට පවතින ඉන්ධන තොගය ප්‍රමාණවත් වන්නේ තවත් පැය කිහිපයක් සදහා පමණක් බවයි. ඒ අනුව නැප්තා ඉන්ධන තොග ඊට පෙර නොලැබුණහොත් කැලණිතිස්ස බලාගාරය හෙට උදෑසන වන විට ක්‍රියාවිරහිත කිරීමට වනු ඇති. 

බලාගාරය ක්‍රියා විරහිත කිරීම හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට අහිමිවන මෙගවොට් ප්‍රමාණය 165ක්.  ලංකා විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමයේ සම ලේකම් ඉසුරු කස්තුරිරත්න පැවසුවේ කොළොන්නාවේ ඇති නැප්තා ප්‍රමාණය ලබාදීමට බලධාරින් වහා කටයුතු කළයුතු බවයි.  

කෙසේවෙතත් කැලණිතිස්ස බලාගාරය අක්‍රිය කළද විදුලි කප්පාදුව දීර්ඝ කිරීමට අවශ්‍ය නොවනු ඇත ලංකා විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමයේ සම ලේකම්වරයා පැවසුවේ පද්ධතියට අහිමි වන විදුලි ධාරිතාව දැවි තෙල් හෝ ඩීසල් බලාගාරවලින් සපයා ගත හැකි වුවද ඒ සදහා වැයවන පිරිවැය අධික බවයි.  කැළණිතිස්ස තාප බලාගාරයෙන් විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමට වැය වන පිරිවැය රුපියල් 45කට ආසන්න වනවා. 

එහෙත් අනෙකුත් බලාගාරවලින් විදුලිය නිෂ්පාදනය කරන්නේ නම් එක් ඒකකයක් සදහා රුපියල් 80 කට අධික මුදලක් වැය වන බවද ලංකා විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමයේ සම ලේකම් ඉසුරු කස්තුරිරත්න පැවසුවා. ඉහළ පිරිවැයක් යටතේ විදුලි නිෂ්පාදනය කළහොත් එයද පාරිභෝගිකයන් මත පැටවෙන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.        


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now