අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් වටලයි ?
අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළ බවට සැකපිට 61 හැවිරිදි ඉංජිනේරුවරයෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට යොදාගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 21 කට අධික ප්‍රමාණයක් ද සැකකරු සතුව තිබී විමර්ශන නිලධාරීන් සිය භාරයට ගෙන තිබෙනවා.
මට්ටක්කුලිය ප්‍රදේශයේ ස්ථානයක අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත තොරතුරු ලැබී තිබුණු අතර ඒ අනුව එහි විමර්ශන කණ්ඩායමක් පසුගියදා එම ස්ථානය වැටලීමට ගොස් තිබුණා.
පරීක්ෂණාගාරයක ස්වරූපයක් ගත් එම ස්ථානය පරීක්ෂා කිරීමේදී අධික ගන්ධයෙන් යුත් සැකකටයුතු රසායනික ද්‍රව්‍ය බැරල් 2ක් විමර්ශන නිලධාරීන් විසින් සොයාගනු ලැබුවා. මෙම බැරල් දෙකෙහි අඩංගු රසායනික ද්‍රව්‍ය අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන අමුද්‍රව්‍යයක් බවයි ඔවුන් සැක කරන්නේ.
අනතුරුව එම ස්ථානයෙහි වූ විවිධ ඖෂධ නිෂ්පාදනය සඳහා භාවිත කරන යන්ත්‍රෝපකරණ රැසක් සහ ඖෂධ තොගයක් සොයාගෙන තිබෙනවා. පසුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ආහාර ඖෂධ පරීක්ෂකවරුන් කණ්ඩායමක් යන විට මත්ලෝලීන් විසින් මත්වීම සඳහා භාවිත කරන මත්පෙති ඇතුළු ඖෂධ වර්ග තොගයක් එම නිලධාරීන් විසින් සොයාගනු ලැබුවා.
එමෙන්ම එම ඖෂධ නිෂ්පානදය කිරීම සඳහා භාවිත කරන යන්ත්‍රෝපකරණ තොගයක්ද මෙහිදී සොයාගැනුණා. අනතුරුව මෙහි හිමිකරුව අත්අඩංගුවට ගත් විමර්ශන නිලධාරීන් එම ස්ථානයට මුද්‍රා තබා - අත්අඩංගුවට ගත් සැකකරුගේ කොළඹ බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පිහිටි නිවස පරීක්ෂා කළා එහි තිබී මත්ලෝලීන් භාවිත කරන මත්පෙති ඇතුළු ඖෂධ නිෂ්පාදනයට යොදාගන්නා භාණ්ඩ තොගයක් විමර්ශන නිලධාරීන් සොයාගත්තා.
අනතුරුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සැකකරුව මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රේල් 25 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඔහු සතුව තිබී සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිත කරන බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය රස පරීක්ෂකවරයා වෙත යොමුකර වාර්තාවක් ලබා ගැනීමට ද මෙහිදී අධිකරණය නියෝග කර තිබෙනවා.
මෙම පුද්ගලයා 2019 වසරේදී ද කැලණිය ප්‍රදේශයේ ඖෂධ නිෂ්පාදනාගාරයක් නීතිවිරෝධී අයුරින් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු බවයි මේ අතර උකුස්සා මෙහිදී සිදුකළ ගවේෂණයේදී අනාවරණ වුණේ.
ඒ පිළිබඳව ද උකුස්සා අනාවරණ කළ අතර ඊට අදාළව සැකකරු අධිකරණයෙන් වරදකරු වී තිබෙනවා.
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)