ක්‍රෙඩිට් කාඩ් ලෙස කාන්තාවක් සූක්ෂම ලෙස රත්තරන් ගෙනා හැටි හසු වෙයි..

Crime Branch Criminal Investigation Department Crime
By Sithumi Jan 14, 2023 11:57 AM GMT
Sithumi

Sithumi

Report

 නීතිවිරෝධී ලෙස රත්තරන් ශ්‍රී ලංකාවට ගෙන එන නවතම ක්‍රමයක් ලෙස යොදා ගත් රත්තරන් වලින් සකස් කළ ක්‍රෙඩිට් කාඩ් පත් (Credit Card) උපයෝගී කර ගනිමින් රුපියල් එකොළොස් කෝටි පහළොස් ලක්ෂ පනස් දහසක් වටිනා කැරට් 24 රත්තරන් තොගයක් ශ්‍රී ලාංකික ගුවන් මගී කාන්තාවක සමග අද දින කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.  

රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීවරයෙකු පැවසුවේ විවිධ වානිජ බැංකු විසින් නිකුත් කල ක්‍රෙඩිට් ලෙස බැලූ බැල්මට හැගී යන ආකාරයටම මේවා සකස් කර තිබු බවත් මේ ආකාරයට ශ්‍රී ලංකාවට රත්තරන් තොගයක් නීතිවිරෝධී ලෙස ගෙන ආ පළමු අවස්ථාව මෙය බවයි

.
 
කැරට් 24 රත්තරන් වලින් සකස් කරන ලද ස්වර්ණාභරණ ශ්‍රී ලංකාවට ගෙන ඒම තහනම් කරමින් මුදල් අමාත්‍යාංශය විසින් විශේෂ චක්‍රලේඛයක් ද පළ කර ඇත්තේ මේ ආකාරයට නීතිවිරෝධී රත්තරන් ජාවාරම් මැඩලීමටයි. මෙම රත්තරන් තොගය නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන විත් ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි නිතර නිතර ගුවන් ගමන් වල යෙදෙන කාන්තාවක් බවයි අනාවරණය වී ඇත්තේ.    

  එම කාන්තාව අද දින අලුයම 01.52 ට ඉන්දියාවේ චෙන්නායි සිට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 273 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා. මෙම කාන්තාව මුලින්ම ඩුබායි සිට ඉන්දියාවේ චෙන්නායි වෙත පැමිණ එතැන් සිට ඉන්දීය ගුවන් සේවයේ ගුවන් යානයකින් මෙසේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණේ රේගු නිලධාරීන්ගේ අවධානය වෙනතකට යොමු කිරීමටයි.  

ඇය මේ වනවිට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව හරහා ඩුබායි වෙත ගුවන් ගමන් 04 වරක් පමණ සිදු කර ඇති බව ඇයගේ ගුවන් ගමන් බලපත්‍රය පරීක්ෂා කළ රේගු නිලධාරීන් අනාවරණය කර ගෙන තිබෙන අතර ඇය විසින් රැගෙන විත් තිබූ  ගමන් මල්ලේ කිලෝග්‍රෑම් 06 යි ග්‍රෑම් 500 ක් බරැති මේ ආකාරයට කැරට් 24 රත්තරන් වලින්  සකස් කළ ක්‍රෙඩිට් කාඩ් පත් 27 ක් ද, මාළ, වළලු සහ මුදු තොගයක් ද සගවා ගෙන තිබූ බව රේගු ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් පැවසූවේ.  

රේගු නිලධාරීන් පැවසුවේ එම රන් භාණ්ඩ වල වටිනාකම රුපියල් එකොළොස් කෝටි පහළොස් ලක්ෂ පනස් දහසක් බවයි. මීට අමතරව මෙම ගමන් මල්ලේ කළු පැහැති සෙලෝ ටේප් වලින් ඔතන ලද කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 200 ක් බරැති රත්තරන් ජෙල් (Gold Gel) තොගයක් ද තිබී රේගු ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර ඒවායේ වටිනාකම මෙතෙක් තක්සේරු කර නොමැති අතර මෙම අත් අඩංගුවට ගැනීම සදහා ඉන්දියාවේ ආදායම් බුද්ධි අංශයේ නිලධාරීන් විසින් ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් වෙත තොරතුරු සපයා දී තිබු බව සඳහන්.