කල්තියා හදුනා ගැනීමේ මධ්‍යස්ථාන ....පැයකට 4 කු පිළිකා රෝගීන් ...

srilanka health pavithcha vanniarachchi
By Nimal Jul 19, 2021 10:36 AM GMT
Nimal

Nimal

Report

සෑම දිස්ත්‍රික්කයකම පිළිකා කල්තියා හදුනා ගැනීමේ මධ්‍යස්ථාන පිහිටුවීමේ වැඩපිළීවෙල කඩිනම් කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යතුමිය පවසයි.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව ප්‍රකාශ කරන ලද්දේ මාතර දිස්ත්‍රික්කයේ පිළිකා කළින් හදුනා ගැනීමේ මධ්‍යස්ථානයක් පිහිටුවීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රාජ්‍ය නොවන ස්වේච්ඡා සංවිධානයක් වන “පැලියේටිව් කෙයාර්” සත්කාරක භාරය අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම අද දින (19) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු වූ අතර, සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ මහතා සහ පැලියේටිව් කෙයාර් භාරයේ ප්‍රධානී වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා එම සංවිධානය වෙනුවෙන් ගිවිසුම් ලේඛණයට අත්සන් තැබීය.

මෙරට ජනතාව අතරින් සෑම පැයකටම 04 දෙනෙකු පිළිකා රෝගීන් බවට පත්වනු ඇතැයි හදුනාගෙන ඇති අතර, දිනකට බෝනොවන රෝග වලින් මියයන පිරිස අතරින් දෙදෙනෙකු පිළිකා රෝගී තත්ත්වය නිසා මියයන බව ද සෞඛ්‍ය අංශ හදුනාගෙන ඇත. එම තත්ත්වයෙන් ජනතාව මුදවා ගැනීමට සහ රෝගීන් කලින් හදුනාගෙන ප්‍රතිකාර කටයුතු සදහා යොමු කිරිමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන විටත් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇත.

එම වැඩපිළිවෙලට අනුව රට තුල පිළිකා වැළැක්වීම, පාලනය, ප්‍රතිකාර සේවා සහ රෝගීන් කල්තියා හදුනා ගැනීමේ සේවාවන් ශක්තිමත් කිරීම සදහා අවශ්‍ය කටයුතු විධිමත් කළ යුතු බව මෙහිදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පෙන්වා දෙන ලදි. ඉදිරියේ දී සෑම දිස්ත්‍රික්කයක ම පිළිකා කල්තියා හදුනා ගැනීමේ මධ්‍යස්ථානයක් බැගින් පිහිටුවීමේ වැඩපිළිවෙල කඩිනමින් සිදු කළ යුතු බව ද සෞඛ්‍ය අමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළාය.

මෙම අවස්ථාවට අතිරේක ලේකම් (මහජන සෞඛ්‍ය සේවා) වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග මහත්මිය, අතිරේක ලේකම් (සංවර්ධන) ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා, ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය ඇතුලු පිරිසක් එක්ව සිටියහ.