කොවිඩ් දැඩි සත්කාර ඒකකය විවෘත කෙරේ.... .

srilanka health presanna ranatunga
By Nimal Jun 28, 2021 06:57 AM GMT
Nimal

Nimal

Report

 ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහල් පද්ධතියට එක් වු දෙවන කොවිඩ් දැඩි සත්කාර ඒකකය ඇදන් 07 කින් හා සුත්‍රිකා ගාර පහසුකම් ද සහිත ශල්‍යාගාරයකින් ද සමන්විත බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

සංචාරක ඇමතිවරයා එසේ පැවසුවේ ගම්පහ දිස්ත්‍රික් රෝහලේ කොවිඩ් දැඩි සත්කාර ඒකකය විවෘත කල  අවස්ථාවේදීය.

ගම්පහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරුම මහතා කියා සිටියේ රජය මැදිහත්වීමෙන් සහ දානපතීන්ගේ ආධාරයෙන් මේ වන විට ගම්පහ රෝහල කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කළ හැකි දිවයිනේ ප්‍රධාන රෝහලක් බවට පත්ව ඇති බවයි. ඉදිරියේ දි මතුවන ඕනෑම තත්ත්වයකට මුහුණ දිය හැකි පරිදි ගම්පහ රෝහලේ පහසුකම් තවදුරටත් පුළුල් කරන බවට රෝහල් අධ්‍යක්ෂකවරයා මෙහි දී කියා සිටියේය.

මෙහි දී අදහස් දැක්වු සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කළේ ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම රෝහල් වල සෞඛ්‍ය පහසුකම් පුළුල් කිරීමට රජය කටයුතු කරමින් සිටින බවයි. ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකක 45 ක්, ප්‍රා දේශීය රෝහල් 09 ක්, මූලික රෝහල් 04 ක් සහ එක් දිස්ත්‍රික් රෝහලක් පවතින බවත් මේ සියළුම වෛද්‍ය සත්කාර ඒකක හා රෝහල්වල ඔක්සිජන් පහසුකම ඇතුළු සියලුසෞඛ්‍ය පහසුකම් පුළුල් කර ඇති බවත් ඇමතිවරයා මෙහි දී කීවේය.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් මේ වන විට වාර්තා වී ඇති කොවිඩ් රෝගින් සංඛ්‍යාව 50,000කට ආසන්නය. කොවිඩ් රෝගින්ට ප්‍රතිකාර කිරීම සදහා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන 04 ක් ස්ථාපනය කර තිබේ. කටුනායක,සීදුව, දොම්පේ, වැරැල්ලවත්ත එම මධ්‍යස්ථානයි. ඉදිරියේ දී බියගම නිදහස් වෙළද කළාපය ආශ්‍රිතව ද කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට ආයෝජන මණ්ඩලය කටයුතු කරමින් සිටින බව ද ඇමතිවරයා කීවේය.

මෙම අවස්ථාව සදහා ගම්පහ පුරපති එරංග සේනානායක, ගම්පහ ප්‍රා දේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ නියෝජිතයින්, වෛද්‍යවරු, හෙද කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.