ණයවර ලිපි ප්‍රමාදයි... ඉදිරියේදි තවත් අර්බුදයක්

By Sithumi May 15, 2022 03:34 PM GMT
Sithumi

Sithumi

Report

ණයවර ලිපි විවෘත කොට ඖෂධ ඇණවුම් කළත් ඩොලර් ගෙවීම් කළ නොහැකි වීම නිසා ඖෂධ සංස්ථාව අසාදු ලේඛනගත කිරීමට විදෙස් ඖෂධ නිෂ්පාදකයන් කටයුතු කරමින් සිටින බව අනාවරණ වී තිබේ.

ඒ, අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය. මේ අතර, ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක් අද අලුයම දිවයිනට පැමිණි බවත් සාම්පල පරීක්ෂාවෙන් පසු ගොඩබෑමේ කටයුතු අදම ආරම්භ කළ බවත් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය. එළඹෙන බ්‍රහස්පතින්දා මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් තවත් නෞකාවක් දිවයිනට පැමිණිමට නියමිතය.

92 හා 95 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37,000ක් රැගත් නෞකාවක් වරායේ නැංගුරම් ලා ඇති නමුත් ඒ සඳහා අවශ්‍ය ඩොලර් සපයාගත නොහැකි වීමෙන් එම නෞකාව ගොඩබෑමට මෙතෙක් හැකි වී නැහැ. එම නෞකාවේ පෙට්‍රල් දින 10කට පමණ ප්‍රමාණවත් බව ඛනිජතෙල් සංස්ථා ආරංචි මාර්ග සඳහන් කළේය. මේ අතර වෙළෙඳපොළේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර හිඟයද මෙතෙක් විසඳී නොමැත.

නමුත් කෙරවලපිටිය ලිට්‍රෝ ගෑස් පර්යන්තයෙන් අදත් අත්‍යවශ්‍ය සේවා හා වාණිජ අවශ්‍යතා සඳහා කිලෝග්‍රෑම් 37.5 ගෑස් සිලින්ඩර බෙදාහැරීම සිදුවුණි. මෙට්‍රි‍ක් ටොන් 3500ක ගෑස් නෞකාවක් දිවයිනට පැමිණ ඇති නමුත් එය නිදහස් කරගැනීමට අවශ්‍ය ඩොලර් නොමැති බව ලිට්‍රෝ සමාගමේ ආරංචි මාර්ග සඳහන් කළේය.