පිළිකාවට තිත ? - නව එන්නතේ සාර්ථකත්වය ඉහළට
පුද්ගලයාගේ පිළිකා තත්ත්වයට ගැළපෙන ලෙස විශේෂයෙන් සකස් කළ නව එන්නතක්, ප්රතිශක්තිකරණ ඖෂධයක් සමඟ ලබාදීමෙන් සමේ පිළිකා යළි ඇතිවීමේ හෝ රෝගීන් මියයාමේ අවදානම 42%කින් අඩු වී ඇති බව ප්රධාන සායනික පරීක්ෂණයකින් හෙළි වී තිබේ.
මෙලනෝමා ලෙස හැඳින්වෙන සමේ පිළිකා වර්ගය සම්බන්ධයෙන් සිදුකළ මෙම පරීක්ෂණය සඳහා රෝගීන් 1,100ක් සහභාගී වී ඇත.
එමෙන්ම, ප්රතිශක්තිකරණ ඖෂධය පමණක් ලබාදුන් රෝගීන් සමඟ සැසඳීමේදී, මෙම නව එන්නත සහ ඖෂධය ඒකාබද්ධව ලබාදුන් රෝගීන්ගේ පිළිකාව ශරීරයේ වෙනත් ප්රදේශවලට පැතිරීමේ අවදානම වසර දෙකක කාලයක් තුළ 38%කින් අඩු වී ඇති බවද පරීක්ෂණයෙන් අනාවරණය වී තිබේ.
MSD සහ Moderna යන ප්රමුඛ ඖෂධ නිෂ්පාදන සමාගම් පවසන්නේ, මෙම ප්රතිකාර ක්රමය වකුගඩු, මුත්රාශය සහ පෙනහළු පිළිකා ඇතුළු වෙනත් පිළිකා වර්ග සඳහාද පරීක්ෂා කරමින් පවතින බවයි.
මෙම ප්රතිඵල පිළිකා ප්රතිකාර ක්ෂේත්රයේ වැදගත් ඉදිරි පියවරක් විය හැකි බව පර්යේෂකයන් පෙන්වා දෙන අතර, මෙම ප්රතිකාරයෙන් රෝගීන්ගේ සාමාන්ය ආයු කාලය සැබෑ ලෙසම ඉහළ යන්නේද යන්න තහවුරු කර ගැනීම සඳහා තවදුරටත් දිගුකාලීන අධ්යයන අවශ්ය වන බව ස්වාධීන පිළිකා විශේෂඥයෝ වැඩිදුරටත් සඳහන් කරති.