වන අලි ඝාතන මැඩලීමට දැඩි පියවරක් - වනජීවී අපරාධ මැඩලීමට ඒකාබද්ධ වැටලීම් දැඩි කෙරේ
වන අලි ඝාතන සහ අනෙකුත් වනජීවී අපරාධ මැඩපැවැත්වීම සඳහා මිනිස් - අලි ගැටුම් බහුල ප්රදේශවල ඒකාබද්ධ හදිසි වැටලීම් තීව්ර කිරීමට බලධාරීන් තීරණය කර තිබේ.
පරිසර අමාත්ය වෛද්ය ධම්මික පටබැඳි සහ නියෝජ්ය අමාත්ය ඇන්ටන් ජයකොඩි මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් ඔක්තෝබර් 23 වැනිදා පරිසර අමාත්යාංශයේ පැවති විශේෂ රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇත.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ත්රිවිධ හමුදාව, හමුදා බුද්ධි අංශ, ඩ්රෝන මෙහෙයුම් ඒකක සහ පරිසර සංවිධාන නියෝජිතයෝ ඊට එක්ව සිටියහ.
වන අලි ඝාතන වැළැක්වීම, හක්කපටස් භාවිතය සහ වනජීවීන්ට හානි කරන වෙනත් අපරාධ සම්බන්ධයෙන් නීතිය ක්රියාත්මක කිරීම ශක්තිමත් කිරීම පිළිබඳව එහිදී සාකච්ඡා කර තිබේ.
වනජීවී අපරාධ පිළිබඳ තොරතුරු කඩිනමින් හුවමාරු කරගැනීම සඳහා වඩාත් විශ්වාසදායක පැමිණිලි හා වාර්තාකරණ ක්රමවේදයක් හඳුන්වාදීමේ අවශ්යතාවද අවධානයට ලක්ව ඇත.
එමෙන්ම, රෝගී වූ හෝ තුවාල ලැබූ අලින් බැලීමට ජනතාව විශාල වශයෙන් එක්රැස් වීම හේතුවෙන් ප්රතිකාර කටයුතුවලට බාධා ඇතිවිය හැකි බැවින්, එවැනි අවස්ථා කළමනාකරණය කිරීම පිළිබඳවද සාකච්ඡා කර තිබේ.
යෝජිත වැඩපිළිවෙළ යටතේ ශ්රී ලංකා යුද හමුදා මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියක් පිහිටුවීමටත්, වනජීවී නිලධාරීන්, පශු වෛද්යවරුන් සහ ත්රිවිධ හමුදා සාමාජිකයන් එක්ව සංරක්ෂණ හා හදිසි ප්රතිචාර මෙහෙයුම් සම්බන්ධීකරණය කිරීමටත් සැලසුම් කර ඇත.
අවදානම් ප්රදේශවල සිටින අවදානමට ලක්විය හැකි දළ ඇතුන්ගේ ගමන්බිමන් නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ හමුදා ආරක්ෂක කණ්ඩායම් යෙදවීමටද යෝජනා වී තිබේ.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අලි හැසිරීම් සහ ක්ෂේත්රයේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ විශේෂ පුහුණුවක් හමුදා සාමාජිකයන්ට ලබාදීමට නියමිත අතර, වනජීවී නිලධාරීන්ගේ ක්ෂේත්ර පර්යේෂණ කටයුතු සඳහා හමුදා කඳවුරුවල නවාතැන් සහ පහසුකම් සැපයීමටද සැලසුම් කර ඇත.
මෙම වැඩපිළිවෙළේ අරමුණ වන්නේ රාජ්ය ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම, නීතිය ක්රියාත්මක කිරීම කාර්යක්ෂම කිරීම සහ වන අලි ඇතුළු වනජීවීන්ට එල්ල වන තර්ජන අවම කිරීමයි.