අලි-මිනිස් ගැටුම පාලනයට නව වනසත්ත්ව නියාමකවරුන් 229 දෙනෙකුට පත්වීම්
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර රාජකාරි වඩාත් කාර්යක්ෂම කිරීම සහ රට තුළ පවතින අලි-මිනිස් ගැටුම පාලනය කිරීම ඉලක්ක කරගනිමින්, III වන ශ්‍රේණියේ වනසත්ත්ව නියාමක නිලධාරීන් 229 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්රදානය කිරීම බත්තරමුල්ල පරිසර අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදු කෙරිණි.
පරිසර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සහ පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් අද (23) පෙරවරුවේ පැවැති මෙම උත්සවයේදී, තරග විභාගයක් සහ සම්මුඛ පරීක්ෂණ මාලාවක් ඔස්සේ ඉහළම සුදුසුකම් සපුරාගත් පිරිමි නිලධාරීන් 223 දෙනෙකු සහ කාන්තා නිලධාරිනියන් 06 දෙනෙකු සඳහා මෙලෙස පත්වීම් ලබා දෙන ලදී.
වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ නීතිමය බලතල ක්‍රියාත්මක වන මූලික කණිෂ්ඨ ක්ෂේත්‍ර නිලධාරී බලකාය වන මොවුන් වෙත ගම්වදින වනඅලි නැවත වනාන්තර වෙත පලවා හැරීම, අලි වැට නඩත්තුව, ජෛව සම්පත් කොල්ලකෑම් මැඩපැවැත්වීම සහ රක්ෂිත ආරක්ෂා කිරීමේ පැය 24 පුරා වන මුර සංචාර වගකීම් පැවරේ. විශේෂයෙන්ම අලි-මිනිස් ගැටුමෙන් පීඩාවට පත්වන ග්‍රාමීය ප්‍රජාව සමඟ කටයුතු කිරීමේදී සහ ගැටුම් වැළැක්වීමේ ක්‍රමවේද පිළිබඳ ග්‍රාමීය කාන්තාවන් සවිබල ගැන්වීමේදී නව කාන්තා නිලධාරිනියන්ගේ දායකත්වය අතිශය ඵලදායී වනු ඇත.
පත්වීම් ලැබූ සියලුම නිලධාරීන් මාස හයක විධිමත් පූර්ණ නේවාසික පුහුණු කාලසීමාවකට යටත් කෙරෙන අතර, රන්දෙණිගල, රිටිගල, මාදුරුඔය සහ ගිරිතලේ යන වනජීවී පුහුණු මධ්‍යස්ථානවලදී එම පුහුණුව ලබා දීමට සැලසුම් කර තිබේ.
පුහුණුව සාර්ථකව නිම කරන නිලධාරීන් ස්ථිර සේවයට අනුයුක්ත කරමින් දිවයින පුරා පවතින දැඩි අලි-මිනිස් ගැටුම් අවම කිරීමේ විශේෂ මෙහෙයුම් සඳහා ක්ෂේත්රගත කිරීමට නියමිතය.