31 දෙනෙකු මිය ගිය මීගමුව බන්ධනාගාර ගැටුම අපරාධයක් - මරණ පරීක්ෂණ නිගමනය දැනුම් දෙයි
මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකු සහ රැඳවියන් 21 දෙනෙකු ඝාතනය වීම සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා සහ සාක්ෂි විභාග කිරීමෙන් අනතුරුව, එහි නියෝගය අද (23) දින මීගමුව මහේස්ත්රාත් ශිලානි පෙරේරා මහත්මිය විසින් ප්රකාශයට පත් කරන ලදී.
එහිදී මහේස්ත්රාත්වරිය සඳහන් කළේ අපරාධයක් සිදුව ඇති බව අධිකරණය හමුවේ නිරීක්ෂණය වන බැවින්, සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ බවයි.
මෙම සියලු මරණ ගිනි අවි, රයිෆල් සහ මොට ආයුධවලින් සිදු කළ පහරදීම්වලින් සිදුව ඇති බවද මහේස්ත්රාත්වරිය වැඩිදුරටත් සඳහන් කළාය. අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 106 දෙනෙකු (පිරිමි 81ක් සහ කාන්තාවන් 25ක්) නම් කර හඳුනාගැනීමේ පෙරෙට්ටුව සඳහා ඉදිරිපත් කර ඇති බවයි.
කෙසේවෙතත්, ගිනි අවි, ලේ සාම්පල, DNA හෝ රස පරීක්ෂක වාර්තා කිසිවක් මෙතෙක් ලැබී නොමැති බවද නිලධාරීහු අධිකරණයට දැනුම් දුන්හ.
මියගිය රැඳවියන් වෙනුවෙන් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංගමයේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වීය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්රාත්වරිය, හඳුනාගැනීමේ පෙරෙට්ටුවට ඉදිරිපත් කර ඇති සැකකරුවන් 106 දෙනාම ඔක්තෝබර් 29 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය. පෙරෙට්ටුවට ඉදිරිපත් නොකරන අනෙක් සැකකරුවන් WhatsApp තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද උපදෙස් දෙන ලදී.
ජූලි 05 සහ 06 යන දිනවල මීගමුව බන්ධනාගාරයේ ඇති වූ මෙම ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් 10ක් සහ රැඳවියන් 22ක් ජීවිතක්ෂයට පත්ව සියයකට අධික පිරිසක් තුවාල ලැබූ අතර, මිනීමැරීම, ගිනි අවි ආඥා පනත සහ පොදු දේපළ පනත යටතේ ගොනු කර ඇති මෙම නඩුව නැවත ඔක්තෝබර් 29 වනදා කැඳවීමට නියමිතය.