විදේශ රටකට යෑමට පැමිණි දරුණු ඝනයේ අපරාධකරුවෙකු පොලිසියෙන් පළා යයි

By Sithumi Feb 25, 2023 11:17 AM GMT
Sithumi

Sithumi

Report

 ව්‍යාජ නමකින් පෙනී සිටිමින් විදේශ රටකට පළා යෑමට තැත් කළ දරුණු ඝනයේ අපරාධකරුවෙකු කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ අත් අඩංගුවෙන් මිදී පළා ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව ප්‍රකාශ කර සිටිනවා.

මෙම පුද්ගලයා තවත් පුද්ගලයෙකු සමග විදේශගත වීම සදහා ඊයේ රාත්‍රීයේ මෝටර් රථ දෙකකින් කටුනායක ගුවන් තොටුපළ පොලීසිය වෙතයි පැමිණ තිබෙන්නේ.

මෙම පුද්ගලයාට එරෙහිව ඔහුගේ සැබෑ නමින් සහ ඔහු පෙනී සිටින ව්‍යාජ නමින්ද ගුවන් ගමන් තහනම් දෙකක් පනවා තිබෙන අතර කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් මෙම පුද්ගලයා තම කවුළුව වෙත පැමිණි පසු විදේශ ගත වීම වලක්වා ඒ පිළිබඳව කටුනායක ගුවන් තොටුපළ පොලීසිය වෙත දැනුම් දී තිබෙනවා. ඉන්පසුව කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ නිලධාරීන් පිරිසක් ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රය වෙත පැමිණ මොහු අත් අඩංගුවට ගෙන සිර මැදිරියෙහි රදවා තබා තිබු බව සඳහන්.

එහිදී සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී තමන් ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් පළා ආ පුද්ගලයෙකු බවත් ශ්‍රී ලංකාව පුරා තමන් මිනීමැරුම් 09 ක් පමණ  සිදු කර ඇති බවත් මෑතකදී හංවැල්ල ප්‍රදේශයේ මිනීමැරුම ද ඒ අතර වන බවත් ප්‍රකාශ කර තිබේ. ඉන් මද වේලාවකට පසුව මෙම පුද්ගලයා නිදහස් කර ගෙන යෑමට භික්ෂූන්වහන්සේලා දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපළ පොලීසිය වෙත පැමිණ තිබෙන අතර පසුව කළ විමර්ශන වලදී මෙම භික්ෂූන්වහන්සේලා ව්‍යාජ පුද්ගලයන් බවට තොරතුරු අනාවරණය වී තිබේ .

එම අවස්ථාවේ දී සිර මැදිරිය තුළ සිටි පුද්ගලයා එයින් පිටතට ගෙන තිබු අතර වාරයේ දී මෙම පුද්ගලයා ඊයේ දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ පොලීසියෙන් පළා ගොස් තිබේ. මේ පිළිබඳව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරීන් පිරිසක්  කටුනායක ගුවන් තොටුපළ පොලීසිය වෙත පැමිණ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර මේ වනවිට එම අවස්ථාවේ රාජකාරී වල නිරතව සිටි පොලිස් සැරයනවරයෙකු අත් අඩංගුවට ගෙන ඇති බව ද වාර්තා වේ.