බෝම්බ බිය ඇතිකළ සැකකරුව ඇල්ලූ මෙහෙයුම

Sri Lanka Sri Lanka Police Investigation
By Sithumi Apr 22, 2023 04:04 PM GMT
Sithumi

Sithumi

Report

අකුරණ නගරයේ මුස්ලිම් දේවස්ථානයකට හා මුස්ලිම් ජනතාව වැඩි වශයෙන් ජීවත් වන ගම්මාන කිහිපයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට ව්‍යාජ තොරතුරක් ලබාදුන් පුද්ගලයා අද (22) උදෑසන පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

 අප්‍රේල් මස 18 වනදා කිසියම් පුද්ගලයෙකු මහජන ආරක්ෂක අමාත්‍යංශයේ 118 හදිසි දුරකථන ඇමතුම් අංකය අමතා අකුරණ නගරයේ මුස්ලිම් දේවස්ථානයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල විය හැකි බවට තොරතුරක් ලබාදී තිබුණා. 

 තොරතුරු ලබාදෙන තමා මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි එහිදී ඔහු පවසා ඇත්තේ. ඒ අනුව ක්‍රියාත්මක වු පොලීසිය යුද හමුදාවේද සහාය ඇතිව අකුරණ නගරයේ ආරක්ෂාව තර කිරීමට පියවර ගත්තා. 

 මුස්ලිම් ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ගම්මාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ලවීමේ හැකියාවක් ඇති බවයි එවන් පසුබිමක නැවත 19 වනදා තවත් දුරකථන ඇමතුමක් ලැබී තිබු අතර එහිදී පවසා ඇත්තේ. තමා හල්දුමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි එදින තොරතුරු දුන් පුද්ගලයා පවසා තිබුණේ .

එම අංක දෙකම භාවිතයෙන් ඉවත් කළ ඒවා බවයි එම තොරතුරු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය තොරතුරු ලබාදුන් පුද්ගලයින්ගේ අංක පරික්ෂා කර ඇති අතර දුරකථන සමාගම් එවිට දැනුම්දී ඇත්තේ.

එමෙන්ම තොරතුරුකරුවන් ලබාදුන් පදිංචි ලිපිනයන් පරීක්ෂා කිරීමේදී ද එම නිවෙස්වල එවැනි පුද්ගලයින් නොමැති බවට තහවුරු කරගෙන තිබුණු අතර ඒ අනුව එම තොරතුරු ලබා දුන් පරිගණක පද්ධතියේ තොරතුරු විශ්ලේෂණය කිරීමේදි අනාවරණ කරගෙන ඇත්තේ එකම පුද්ගලයෙකු විසින් මෙම තොරතුර ලබාදී ඇති බවයි. එමෙන්ම හාරිස්පත්තුව - බටුගොඩ ප්‍රදේශයේ සිට මෙම ඇමතුම ලැබී ඇති බවද හෙළිවී තිබෙනවා.

ඒ අනුව දියත් කළ මෙහෙයුමකින් අනතුරුව මෙම තොරතුරු ලබා දුන් පුද්ගලයා හාරිස්පත්තුව - බටුගොඩ ප්‍රදේශයේ නිවසක සිටියදී අද උදෑසන පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ගනු ලැබුවා. ඉසදීන් මොහොමඩ් සජිත් නමැති 21 හැවිරිදි මෙම සැකකරු මවුලවිවරයෙකු වශයෙන් කටයුතු කරන අයෙක් වන අතරඔහුගේ දුරකථනය පරීක්ෂා කිරීමේදී අදාළ ඇමතුම් ලබාදී ඇති බවට තහවුරු වී තිබුණා. 

  වෙනත් පුද්ගලයෙකුගේ අවශ්‍යතාව මත තමා මෙම ඇමතුම් දුන් බවයි වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී සැකකරු පවසා ඇත්තේ. ඒ අනුව සැකකරු අද පස්වරුවේ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි මස 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණා. 

සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now