විදුලි ගාස්තු සංශෝධනය ගැන මණ්ඩලය සහ උපයෝගීතා කොමිසම අතර සාකච්ඡා එකගතාවකින් තොරව අවසන්
විදුලිබිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ විදුලිබල මණ්ඩලය අතර ඊයේ පැවැති සාකච්ඡාව එකගතාවකින් තොරව අවසන් වී තිබෙනවා.
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ ජාතික සභාව අද පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් ඒ බව දැනුම්දුන් බවයි. විදුලිබිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අදාළ පාර්ශව 02 ට මුණගැසී සාකච්ඡා කර අවසන් තීරණයක් ගන්නා ලෙස ඊයේ දිනයේදී ජාතික සභාව දැනුම් දුන්නා.
ඒ අනුව ඊයේ පස්වරුවේ දෙපාර්ශවයේ නිලධාරීන් මුණගැසී විදුලිබිල ඉහළ දැමීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත්, ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීමට නොහැකි වූ බවත්,ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් ජාතික සභාවට දැනුම් දී තිබෙනවා.
එහිදී මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නිලධාරීන් ප්‍රකශ කර ඇත්තේ අද දින කොමිෂන් සභාව රැස්වී ඒ පිළිබඳ සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීමට බලපොරොත්තු වන බවයි. මින් පෙර ජාතික සභාව රැස්වූ අවස්ථාවේදී විදුලි ගාස්තු වැඩිකිරීම පිළිබඳ අවසන් තීරණය මේ මස 15 වනදාට පෙර දැනුම්දෙන බව මහජන උපයෝගීතා කොමිසම ජාතික සභාවට දැනුම් දී තිබුණා.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා එහිදී පවසා ඇත්තේ හෙට දිනයේදී ඒ සම්බන්ධයෙන් තීරණයක් ලබාදෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි.