කොරියාවේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ගැන ඇහෙන හොද ආරංචියක්
කොරියාවේ ජීවත්වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් එරට ආර්ථිකයට ලබාදෙන දායකත්වය ඉතාමත් ප්‍රශංසනීය බවත් ඒ පිළිබඳව ශ්‍රී ලංකාවට තම ස්තූතිය පිරිනමන බවත් කොරියානු පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ලී හැක් යංග් මහතා සදහන් කර තිබේ.
එතුමා මේ බව සදහන් කළේ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අතර පසුගියදා පැවැති හමුවකදීය.
එහිදී අමාත්‍යවරයා කොරියාවේ ශ්‍රමික වෙළඳපොළ තුළ ශ්‍රී ලාංකීක ශ්‍රමිකයින්ට ලබාදී ඇති අවස්ථාව පිළිබඳව එරට රජයට සිය ස්තූතිය ප්‍රකාශ කර තිබේ.
ඒ වගේම ඉතා හොඳ පුහුණු ශ්‍රමික බලකායක් ශ්‍රී ලංකාව සතුව පවතින බව ද අමාත්‍යවරයා විසින් අවධාරණය කර ඇත.
මේ අවස්තාවේදී නියෝජ්‍ය කථානායකවරයා ප්රමුඛ කොරියානු නියෝජිත පිරිසේ අවධානය යොමු කරන ලද්දේ කොරියානු ආයෝජකයින්ට ලංකාවේ ආයෝජනය කිරීම තුළින් එම ශ්‍රමිකයින්ගේ දායකත්වය ඉතා පහසුවෙන් ලංකාව තුළදී ලබාගෙන ලාංකික ශ්‍රම දායකත්වයෙන් නිෂ්පාදනය කරන ලද භාණ්ඩ ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය වැනි වෙළඳපොළ වෙත ඉදිරිපත් කිරීමට ඇති හැකියාව පිළිබඳවයි.
තවද ලී හැක් යංග් මහතා වැඩි දුරටත් සදහන් කළේ ශ්‍රී ලංකාව වර්තමානයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබාගන්නා කාලය වැනි දුෂ්කර කාලයක් කොරියාව ද පසු කළ බවත් මෙම තත්ත්වය ඉතා කඩිනමින් මඟ හරවාගෙන තම රට මෙන් දියුණු ආර්ථිකයක් ළඟා කර ගැනීමට ශ්‍රී ලංකාට හැකිවනු ඇතැයි තමා විශ්වාස කරන බවයි.
කොරියානු නියෝජිත පිරිස හා අමාත්‍යවරයා විසින් දෙරටටම බලපානු ලබන වීසා ගැටලු විසඳා ගැනීම පිළිබඳවත් මෙහිදී අවධානයට ලක්ව තිබේ.
ඒ වගේම වසර 50 ක් පැරණි ශ්‍රී ලංකා - කොරියා මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගනිමින් දෙරට අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡාවට බදුන් කර තිබේ.