2025දී මගීන් මිලියන 9.9 ඉක්මවයි – ශ්‍රී ලංකා ගුවන්තොටුපළ සේවා නව උසකට
ශ්‍රී ලංකා ගුවන්තොටුපළ හා භූමි මෙහෙයුම් සේවාවන් ලෝකයේ ප්‍රමුඛතම ස්ථානයකට පැමිණ ඇති බව ගුවන්තොටුපළ හා භූමි මෙහෙයුම් ප්‍රධානී දීපාල් පල්ලේගන්ගොඩ මහතා පවසයි.
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණෙන සියලුම ගුවන් සේවාවන්ට අදාළ භූමි මෙහෙයුම් හා සේවා අවශ්‍යතා සපුරාලීම සිදු කෙරෙන්නේ ශ්‍රී ලන්කන් එයාර්පෝට් ඇන්ඩ් ග්‍රවුන්ඩ් සර්විසස් මගිනි.
ජාත්‍යන්තරව පිළිගත් ආරක්ෂක හා සේවා ප්‍රමිතීන් අනුගමනය කරමින් කාර්යක්ෂම මෙහෙයුම් සිදු කිරීම මගින් මෙම ස්ථානයට පත්වීමට හැකි වූ බව ඔහු සඳහන් කළේය.
පසුගිය දිනක මාධ්‍යවේදීන්ට මෙම මෙහෙයුම් නිරීක්ෂණය කිරීමට අවස්ථාව ලැබුණි.
ශ්‍රී ලන්කන් එයාර්පෝට් ඇන්ඩ් ග්‍රවුන්ඩ් සර්විසස් යනු ශ්‍රී ලංකාවේ ගුවන් ප්‍රවාහන ක්ෂේත්‍රයේ මධ්‍යස්ථානීය භූමිකාවක් ඉටු කරන ප්‍රමුඛ සේවා සපයන්නෙකි.
මෙරට ප්‍රධාන ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පූර්ණ සේවා සහ අඩු වියදම් ගුවන් සේවා සමාගම්වල යානා මෙන්ම විශේෂ ගුවන්යානා සඳහාද සේවා ලබා දෙයි.
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ මසකට හසුරුවන ගුවන්යානා සංඛ්‍යාව 5,200ක් පමණ වන අතර, මසකට හසුරුවන ගමන් මගීන් සංඛ්‍යාව ලක්ෂ 5කට ආසන්නයි.
2025 වසර තුළ පමණක් හසුරුවූ මුළු ගුවන් මගීන් සංඛ්‍යාව මිලියන 9.9කට ඉක්මවා ඇත.