ලෝකෙම පිස්සු වට්ටන ශකීරාගෙන් රසිකයන්ට පිස්සු හැදෙන ආරංචියක්
සුප්‍රකට කොලොම්බියානු පොප් ගායන ශිල්පිනී ශකීරා, ලබන මාර්තු 1 වැනිදා රාත්‍රියේ මෙක්සිකෝ සිටිහි සොකාලෝ (Zocalo) චතුරශ්‍රයේදී නොමිලේ ප්‍රසංගයක් පවත්වන බවට නිවේදනය කර ඇත.
ඒ අනුව ඇය සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, "සුන්දර මෙක්සිකෝව! 2007 වසරේ මම සොකාලෝහිදී ඔබ වෙනුවෙන් ගී ගැයූ අයුරු මතකද? ඉතින්, මට ඔබට කියන්න අවශ්‍යයි ඒ දේ නැවතත් සිදු වීමට නියමිත බව,"
එමෙන්ම ඇයගේ "Las Mujeres Ya No Lloran" (Women Don't Cry Anymore) ලෝක සංචාරය අතරතුර මෙක්සිකෝ සිටිහි Estadio GNP ක්‍රීඩාංගණයේ පැවති ප්‍රසංග 12කට වඩා වැඩි ප්‍රමාණයක ප්‍රවේශ පත්‍ර සියල්ල අලෙවි වී අවසන් විය.
එය එම ක්‍රීඩාංගණයේ වාර්තාවක් ද වූ බව සඳහන්.
එමෙන්ම එහිදී ප්‍රවේශ පත්‍ර 780,000ක් පමණ අලෙවි වී ඇති බව වාර්තා වේ. නගරයේ මධ්‍යම චතුරශ්‍රයේ පැවැත් වීමට නියමිත මෙම නොමිලේ පැවැත්වෙන ප්‍රසංගයට දින කිහිපයකට පෙර, එනම් පෙබරවාරි මස අගදී ඇය නැවතත් එම ක්‍රීඩාංගණයට පැමිණීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සොකාලෝ චතුරශ්‍රය දළ වශයෙන් පාපන්දු ක්‍රීඩාංගණ අටක පමණ විශාලත්වයකින් යුක්ත බව සඳහන්. ජස්ටින් බීබර්, රොසාලියා සහ ලොස් ෆැබුලෝසෝස් කැඩිලැක්ස් වැනි ප්‍රසිද්ධ කලාකරුවන්ගේ නොමිලේ ප්‍රසංග පැවැත්වීමට මෙය නිතර භාවිත කරන බව ද වාර්තා වේ.
එහිදී අවසන් වරට පැවති ප්‍රසංගයකට 300,000ක පමණ රසික පිරිසක් පැමිණ ඇති බවට ගණන් බලා ඇත.
මේ අතර ඉකුත් අගෝස්තු මාසයේදී ද ශකීරා මෙවැනි ප්‍රසංගයක් පවත්වන බවට කටකතා පැතිර ගියද එකල එවැනි දෙයක් සංවිධානය කර නොමැති බවට නගර පාලනාධිකාරිය ප්‍රකාශ කර තිබූ බව වාර්තා විය.
එමෙන්ම මෙම මාසය මුලදී, බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ හි කොපකබානා වෙරළ තීරයේ පැවැත්වෙන සම්ප්‍රදායික ප්‍රසංගයේ මෙවර ප්‍රධාන කලාකාරිනිය වශයෙන් ද ඇයව තෝරා ගෙන ඇත.