අස්වැසුම ගන්න අස්වැසුම කපනවා හරිනම් රටටම අස්වැසුම දෙන්න ඕනේ වෙලාවක් මේක - හිටපු ඇමතිගෙන් එළියට පැන්න කතාව මෙන්න
හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පවසන්නේ වත්මන් ආණ්ඩුවට පැහැදිලි වැඩපිළිවෙළක්, දර්ශනයක් හෝ හැකියාවක් නොමැතිකම හේතුවෙන් ඉදිරියේදී රටේ සියලු දෙනාටම අස්වැසුම ලබාදීමට සිදුවනු ඇති බවද රට මහා විනාශයකට තල්ලු වෙමින් තිබෙන බවයි.
ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති රැස්වීමෙන් අනතුරුව මාධ්‍යයට දැක්වූ අදහස් දක්වමින් වජිර අබේවර්ධන පැවසුවේ,
"අද හැම තැනම අපිට අහන්න වෙලා තියෙන්නේ ඩෙංගු ප්‍රශ්නය ගැන. ඇත්තටම මේ වන විට ඒ ප්‍රශ්නයත් පාලනය කරගන්න බැරි තැනකට ගමන් කරමින් තිබෙනවා. මේ නිසා ජනතාව විශාල වශයෙන් අසරණභාවයට පත් වෙලා තිබෙනවා. ඩෙංගු පාලනය කරන්න නිසි ක්‍රමවේදයක් අවශ්‍යයයි. ඒ වෙනුවෙන් අපේ ආණ්ඩු සමයේ විවිධාකාරයේ ක්‍රියාමාර්ග භාවිත කරා. සම්පූර්ණයෙන්ම තුරන් කරන්න බැරි වුණත් ඩෙංගු රෝගය පාලනය කිරීම මේ මොහොතේ අත්‍යවශ්‍ය කාරණයක් බව කිව යුතුයි. නමුත් වර්තමාන ආණ්ඩුවට ඒ සම්බන්ධයෙනුත් නිසි වැඩපිළිවෙළක් නොමැති නැහැ. මේ නිසා තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කිව්වේ, එල් බෝඩ් කට්ටියට රට බාරදෙන්න එපා කියලා. නමුත් මොනවා කරන්නද මහජනයා බාරදුන්නා. ඉතින් මදුරුවෙක්වත් පාලනය කරගන්න බැරි තත්ත්වයක් දැන් ඇතිවෙලා තිබෙනවා. මදුරුවෝ බෝවෙනවා. කොහොමත් ඔය ඩෙංගු මදුරුවාට මට මතක ආයු කාලය දින 12ක් වගේ. ඉතින් ඉබේම ඒ දින ගණන නැතිවෙලා යනකන් අපිට බලාගෙන ඉන්න වෙයි.
ඒ වගේම අද අස්වැසුම ලබාදීම පිළිබඳවත් ප්‍රශ්න ඇති වෙලා තිබෙනවා. අස්වැසුම ලබාගත්ත බොහෝ දෙනෙකුගේ අස්වැසුම කප්පාදු කරන්න සූදානම් වෙනවා. මේක මුළු රටටම අස්වැසුම අවශ්‍ය කරලා තිබෙන වෙලාවක්. කිසිම කෙනෙකුට හුස්ම ගන්න බැරුව හිරවෙලා තිබෙන අවස්ථාවක්. ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩු වුණහම රනිල් වික්‍රමසිංහ මැතිතුමා, එතුමා අගමැති කාලෙදී හඳුන්වලා දුන්නා මිල සූත්‍රයක්, ලෝකයේ තෙල් මිල වැඩිවෙනකොට වැඩිවෙන්නත්, ලෝකයේ තෙල් අඩුවෙනකොට අඩුවෙන්නත්. එතකොට ලෝකයේ තෙල් වැඩිවෙලා තියෙන අවස්ථාවට වැඩිවෙන්න තිබෙනවා. ලෝකයේ තෙල් මිල අඩුවෙලා තියෙන අවස්ථාවට තෙල් මිල අඩු කරන්න තිබෙනවා. ඉතින් එදා ඒ සූත්‍රය පිළිබඳ අවබෝධයක් තිබුණේ නැහැ මේ ළමයින්ට. මම හිතනවා දැන්වත් තේරුම් අරගත්තොත් හොඳයි කියලා මේ ගැන. ඉතින් මේක මහජනයාගේ නොදැනුවත්කම නිසා ඔවුන් විසින්ම ඇති කරපු ප්‍රශ්නයක් බවයි මගේ හැඟීම."