අලි-මිනිස් ගැටුමට විසඳුම් සොයමින් විදුලි වැට ශක්තිමත් කිරීමට රජය සැරසෙයි
අලි-මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා විදුලි වැට ශක්තිමත් කිරීමටත්, ගොවි ජනතාව මුහුණ දෙන ඉඩම් ගැටලු විසඳීමටත්, වනජීවී ආරක්ෂණ පහසුකම් වැඩිදියුණු කිරීමටත් රජය පියවර ගන්නා බව රාජ්ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පවසයි.
ඔක්තෝබර් 26 වැනිදා ඔහුගේ ප්රධානත්වයෙන් පැවති තේනුවර ප්රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මෙම කරුණු අනාවරණය වී තිබේ. වන රක්ෂිත ආශ්රිතව ජීවත් වන ගම්වාසීන් අලි-මිනිස් ගැටුම හේතුවෙන් දැඩි පීඩාවකට පත්ව සිටින බව එහිදී ගම්වාසීන් පෙන්වා දී ඇත.
මෙම තත්ත්වය ගොවිතැනට මෙන්ම ජනතාවගේ ආරක්ෂාවට ද තර්ජනයක් වී තිබේ. එකිනෙකට කිලෝමීටර් 2.5ක පමණ දුරින් පිහිටි වන රක්ෂිත දෙක අතර නිසි වන අලි ගමන් මාර්ගයක් නොමැති වීම හේතුවෙන් අලි ගම්මානවලට ඇතුළු වන බව ද ඔවුන් සඳහන් කර ඇත.
ගම්මානය තුළ පිහිටි රජයේ ඉඩම් සහ වන සංරක්ෂණ ඉඩම් නිසි පරිදි එළිපෙහෙළි නොකිරීම ද මෙම ගැටලුවට හේතු වී තිබේ.
වී වගාව ඇතුළු වගාවන් ආරක්ෂා කර ගැනීම දුෂ්කර වී ඇති අතර, පාසල් සහ විහාරස්ථාන ආසන්නයට වන අලි පැමිණීමෙන් ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ ගැටලු මතුව ඇති බව ගම්වාසීන් පෙන්වා දී ඇත.
විදුලි වැට අලුත්වැඩියාවට සහ නව වැටක් ඉදිකිරීමට සැලසුම්
වීරක්කොඩිචෝලේ වන රක්ෂිතයේ සිට කිලෝමීටර් 3.5ක් පමණ දුරට විහිදී ඇති විදුලි වැට ශක්තිමත් කිරීම, සෙල්ලකන්ද වන රක්ෂිතයේ සිට නව විදුලි වැටක් ඉදිකිරීම සහ දැනට පවතින ආරක්ෂක මුරකුටි යොදා ගනිමින් විධිමත් මුර සේවයක් ක්රියාත්මක කිරීම සඳහා ගම්වාසීන් ඉල්ලීම් කර තිබේ.
ඊට ප්රතිචාර දක්වමින් අමාත්යවරයා සඳහන් කර ඇත්තේ අදාළ කටයුතු කඩිනම් කිරීමට පියවර ගන්නා බවයි.
වනජීවී ක්ෂේත්ර මෙහෙයුම් ශක්තිමත් කිරීම සඳහා සිවිල් ආරක්ෂක බලකායේ සේවය කළ පුද්ගලයින් 5,000ක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත කර ඇති බව ද ඔහු පවසා ඇත.
එමෙන්ම වනජීවී නිලධාරීන්ගේ රාජකාරි කාර්යක්ෂම කිරීම සඳහා කැබ් රථ සහ යතුරුපැදි ඇතුළු ප්රවාහන පහසුකම් ද ලබාදී තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද කල්පවතින හා ඵලදායී විදුලි වැට ඉදිකිරීමේ වැදගත්කම අවධාරණය කර ඇති බව අමාත්යවරයා සඳහන් කර ඇත.
එහිදී වැය වන මුදලට පමණක් අවධානය යොමු නොකර, දිගුකාලීන ප්රතිලාභ සැලකිල්ලට ගත යුතු බව ද ඔහු පෙන්වා දී තිබේ.
වන අලි සඳහා ජල පහසුකම් සැලසීමටත් අවධානය
ජලය සොයා ගම්මානවලට වන අලි පැමිණීම අවම කිරීම සඳහා වන ප්රදේශ ආශ්රිත වැව් ප්රතිසංස්කරණය කිරීම කෙරෙහි ද අවධානය යොමු කර තිබේ.
ඒ යටතේ මහසෙන් වැව ඉදිකිරීම ඇතුළු යෝජනා සලකා බලන බව අමාත්යවරයා සඳහන් කර ඇත. විදුලි වැට ශක්තිමත් කිරීමෙන් අනතුරුව, ප්රාදේශීය ලේකම්වරයා සහ ග්රාම නිලධාරීවරයා සමඟ සාකච්ඡා කර ගම්මානයට මායිම්ව පිහිටි සුදුසු ඉඩම් අලුත විවාහ වූ තරුණ පවුල් වෙත ලබාදීමේ හැකියාව පිළිබඳ වැඩපිළිවෙළක් සකස් කරන බව ද ඔහු පවසා තිබේ.
කෙසේ වෙතත්, ඉඩම් බෙදාදීමේදී වනජීවී වාසස්ථාන ආරක්ෂා කිරීම සහ රටේ වන ආවරණය සියයට 30ක් දක්වා ඉහළ නැංවීමේ රජයේ අරමුණ ද සැලකිල්ලට ගත යුතු බව අමාත්යවරයා අවධාරණය කර ඇත.
දිවයිනේ ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළට - පහත්බිම්වල ජනතාවට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්
ගොවීන්ගේ ආදායම ඉහළ නැංවීමටත් සැලසුම්
ග්රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා නවීන කෘෂිකාර්මික ක්රම හඳුන්වාදීම සහ සීමිත ඉඩම්වලින් වැඩි ආදායමක් උපයාගත හැකි ස්වයං රැකියා අවස්ථා ප්රවර්ධනය කිරීම පිළිබඳව ද රැස්වීමේදී සාකච්ඡා වී තිබේ.
ඒ අනුව කරවිල, බිම්මල්, වැල් දොඩම් සහ ලොකු ලූනු වගාවට අමතරව කුකුළු පාලනය, එළු පාලනය, කිරි නිෂ්පාදනය, මල් වගාව සහ ඇඳුම් මැසීම වැනි ආදායම් උපයන ක්රියාකාරකම් සඳහා ගොවීන් යොමු කිරීමේ හැකියාව ද පෙන්වා දී ඇත.
සහනාධාර මත පමණක් රඳා නොසිට, ඵලදායී කෘෂිකර්මාන්තය, නවීන තාක්ෂණය සහ ස්වයං රැකියා මඟින් ග්රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම රජයේ අරමුණ බව අමාත්යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.