මත් ලෝලීන්ට සතුටුදායක ආරංචියක් - සුරාබදු දෙපාර්තමේන්තුවෙන් අලුතෙන් ඇප් එකක්
පාරිභෝගිකයන් මිලදී ගන්නා මත්පැන් ප්‍රමිතිගත දැයි ක්ෂණිකව පරීක්ෂා කර බැලීම වෙනුවෙන් නව ජංගම දුරකථන යෙදවුමක් (App) ඉදිරියේදී හඳුන්වා දෙන බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.
නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් ඒ.ඒ. රොෂාන් පෙරේරා මහතා මේ බව සඳහන් කළේ, ‘බදු ශක්ති 2026’ ජාතික බදු සතිය පිළිබඳව දැනුවත් කිරීමට රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදීයි.
ඒ අනුව ඔහු පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සමඟ එක්ව මෙම යෙදවුම නිර්මාණය කරන බවයි.
ඒ ඔස්සේ තමන් ගෙවන බදු මුදලට සරිලන ප්‍රමිතිගත මත්පැන් ලැබෙන්නේද යන්න තහවුරු කර ගැනීමට ජනතාවට අවස්ථාව සැලසෙන බවත් ඔහු සඳහන් කළා.
එමෙන්ම එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ, වර්තමානය වන විට සුරාබදු ආදායම සැලකිය යුතු ආකාරයෙන් ඉහළ ගොස් ඇති බවයි.
තවද ඔහු අවධාරණය කළේ මත්පැන් මිල ඉහළ දැමීම ඔස්සේ රජය අපේක්ෂා කරන්නේ මත්පැන් පරිභෝජනය සීමා කිරීම බවයි.
එසේම ව්‍යාජ මත්පැන් වෙළඳපොළට පැමිණීම වැළැක්වීම සහ පාරිභෝගික සුරක්ෂිතතාව තහවුරු කිරීම මෙම නව තාක්ෂණික වැඩපිළිවෙළේ මූලික අරමුණ වී ඇති බවත් ඔහු සඳහන් කළා.