මීට පස්සේ අබලි ලෝහ, ඇලුමිනියම් කුට්ටි, සින්ක් කුට්ටි සහ තඹ කම්බි අපනයනය කරන්නේ නෑ - අත්හිටුවයි
දේශීය කුඩා පරිමාණ කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීම සඳහා 2020-11-09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලබා දුන් තීරණයක් අනුව යකඩ, තඹ, ඇලුමිනියම්, සුදු යකඩ, අධි කාබන් යකඩ, පිත්තල සහ චිනච්චට්ටි යන ලෝහවල අබලි ලෝහ මෙන්ම ඇලුමිනියම් කුට්ටි, සින්ක් කුට්ටි සහ තඹ කම්බි අපනයනය අත්හිටුවා ඇත.
ඒ අනුව මෙරට දේශීය නිෂ්පාදන කර්මාන්ත වෙනුවෙන් අවශ්‍ය කරනු ලබන ලෝහ අවශ්‍යතාවයෙන් කොටසක් දේශීයව ලබා ගන්නා අබලි ලෝහ මඟින් සහ ඉතිරිය ආනයනය කරනු ලබන ලෝහ කුට්ටි මඟින් සපයා ගනු ලබන බව සඳහන්.
එහෙත් ඇතැම් පාර්ශ්වයන් විසින් විවිධ සංයෝජිත වර්ගීකරණ සංකේතාංක (HS Code) යටතේ වෙනස් ආකාරයෙන් අර්ථකථනය කරමින් ලෝහ ආශ්රිත ව්‍යාජ නිෂ්පාදන සහ අබලි ලෝහ අපනයනය කිරීම නිසා දේශීය කර්මාන්ත වෙනුවෙන් දේශීයව සපයාගත හැකි ලෝහ ආශ්රිත අමුද්‍රව්‍යයන්ගේ හිඟයක් නිර්මාණය වී පවතී.
මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන, දේශීය කර්මාන්ත වෙනුවෙන් අගතියක් සිදු වන අයුරින් අබලි ලෝහ අපනයනය වැළැක්වීමට අවශ්‍ය නීතිමය විධිවිධාන පැනවීම සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.