ආයේ මේ හාල් ගැන බයවෙන්න දෙයක් නෑ - ඒ වෙනුවට විකල්ප සහල් වර්ග
දේශීය වෙළෙඳපොළේ මේ වන විට පවතින සම්බා සහ කීරි සම්බා සහල් හිඟයට පිළියමක් ලෙස විකල්ප සහල් වර්ග ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
ඒ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පෙන්වා දී ඇත්තේ 2025/26 මහ කන්නයේ සම්බා සහ කීරි සම්බා මුළු නිෂ්පාදනය මෙරට එම සහල් අවශ්‍යතාව සපුරා ගැනීමට ප්‍රමාණවත් නොවන බවත්, 2026 මැයි මාසයේ සිට එම සහල්වල උග්‍ර හිඟයක් ඇති විය හැකි බවත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ සහ පුහුණු ආයතනය සහ ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය ඉදිරිපත් කර ඇති යාවත්කාලීන තොරතුරු මත පදනම්ව බව සඳහන්.
එමෙන්ම ස්ථාවර මිලක් සහිතව සම්බා සහ කීරි සම්බාවලට වෙළෙඳපොළෙහි පවතින ඉල්ලුම සපුරාලීම පිණිස එම සහල් වර්ගවලට සමාන සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවය ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුවේ ද අවධානයට ලක්ව ඇත.
එබැවින් සම්බා සහ කීරි සම්බා සඳහා පිළිවෙලින් ආදේශක සේ සලකනු ලබන හා සංයෝජිත වර්ගීකරණ සංකේතාංක (HS Code) 1006.30.29 යටතේ වර්ගීකරණය කර ඇති පොන්නි සම්බා සහ කිරි/ පාල් පොන්නි සහල් ඇතුළුව GR 11 වශයෙන් හඳුන්වනු ලබන සහල් වර්ගයෙන් මෙට්‍රික්ටොන් 1,040ක උපරිම ප්‍රමාණයක් ඕනෑම ආනයනකරුවකු විසින් 2026-04-01 දින සිට 2026-04-30 දින දක්වා කාල සීමාව තුළ ආනයනය කිරීමටත්, එම සහල් තොග 2026-05-31 දින හෝ ඊට පෙර ශ්‍රී ලංකා රේගුවෙන් නිෂ්කාශනය කිරීමටත්, එකී සහල් වර්ග ආනයනය කරන ආනයනකරුවන් ආනයන පාලන බලපත්‍ර ලබා ගැනීමෙන් නිදහස් කිරීමටත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇති බව වාර්තා වේ.