ලොකු ලූණු නිෂ්පාදනය පිළිබඳව රජයෙන් විශේෂ දැනුම්දීමක්
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මෙරට වාර්ෂික ලොකු ලූණු අවශ්‍යතාවයෙන් සියයට 50 ක ප්‍රමාණයක් රට තුළම නිෂ්පාදනය කරගැනීම සඳහා වන විශේෂ සැලසුම් මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
එළැඹෙන යල කන්නයේ අස්වැන්නෙන් මෙරට වාර්ෂික ලොකු ලූණු අවශ්‍යතාවයෙන් සියයට 50 ක් සපුරා ගැනීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වී තිබේ.
මෙරට වාර්ෂික ලොකු ලූණු පරිභෝජනය මෙට්‍රික් ටොන් 320,000 ක් පමණ වේ. මෙරට ඉතිහාසයේ ඉහළම ලොකු ලූණු අස්වැන්න ලබාගෙන ඇත්තේ 2014 වසරේදී වන අතර, එහිදී හෙක්ටයාර් 6,000 ක වගාබිම් ප්‍රමාණයකින් මෙට්‍රික් ටොන් ලක්ෂයක (100,000) අස්වැන්නක් ලබා ගැනීමට හැකි විය.
කෙසේ වෙතත්, පසුකාලීනව නිෂ්පාදන වියදම් ඉහළ යාම සහ අඩු මිලට ආනයනය කරන ලද ලොකු ලූණු වෙළඳපොළට පැමිණීම හේතුවෙන් ගොවීන් ලොකු ලූණු වගාවෙන් ඉවත් වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබුණි.
එම තත්ත්වය වෙනස් කරමින් ගොවීන් නැවතත් ලොකු ලූණු වගාව කෙරෙහි යොමුකිරීම සඳහා නව තාක්ෂණය මුසු වූ විශේෂ වැඩසටහනක් ආරම්භ කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති සහ පුහුණු අධ්‍යක්ෂ පී. සිසිර කුමාර මහතා සඳහන් කළේය.
නව තාක්ෂණික ක්‍රමෝපායන් භාවිත කරමින් අක්කරයකින් ලබාගන්නා අස්වැන්න වැඩි කරගැනීමටත්, නිෂ්පාදන වියදම අවම කරගැනීමටත් අවශ්‍ය තාක්ෂණික උපදෙස් හා පුහුණුව ගොවීන්ට ලබාදීමට පියවර ගෙන ඇති බවත්, ඒ අනුව එළැඹෙන යල කන්නයේදී අපේක්ෂිත අරමුණු වෙත ළඟාවීමට හැකිවනු ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.