ජුනි 2 සිට ජාතික බදු සතිය ඇරඹේ
ශ්‍රී ලංකාවේ ජාතික බදු සතිය හෙට ( 02) සිට ආරම්භ වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) අද (01) නිවේදනය කළේය.
'බදු ශක්ති' යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සතිය, 2025 ජුනි 02 වන දින සිට ජුනි 07 වන දින දක්වා ක්‍රියාත්මක වන අතර, බදු ගෙවීමේ වැදගත්කම හා එහි ක්‍රියාවලිය පිළබඳ ජනතාව දැනුවත් කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
ජාතික බදු සතියේ විධිමත් ආරම්භය සනිටුහන් කරමින්, සමාරම්භක උත්සවය හෙට (02) උදෑසන 9:00ට කොළඹ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. මෙම උත්සවයට මුදල් හා ආර්ථික ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඇතුළු ඉහළ නිලධාරීන්, රාජ්‍ය හා පළාත් පාලන ආයතනවල නියෝජිතයින්, ව්‍යාපාරික ප්‍රජාවේ නායකයින්, සහ සිවිල් සංවිධාන නියෝජිතයින් සහභාගී වීමට නියමිතය. උත්සවයේදී ජනාධිපතිවරයා විසින් මෙවර බදු සතියේ තේමාව වන 'බදු ශක්ති' විධිමත්ව හඳුන්වා දෙනු ඇති අතර, බදු ගෙවීම හරහා රටේ ආර්ථික ශක්තිය හා සංවර්ධනයට දායක වීමේ වැදගත්කම පිළබඳ ප්‍රධාන දේශනයක්ද පවත්ජනා කරනු ඇත.
මෙවර ජාතික බදු සතිය 'බදු ශක්ති' යන තේමාව යටතේ පැවැත්වෙන අතර, එය බදු ගෙවීම හරහා රටේ ආර්ථික ශක්තිය, ස්ථාවරත්වය, හා ජනතාවගේ යහපත වෙනුවෙන් රජයට ශක්තියක් සැපයීමේ වැදගත්කම අවධාරණය කරයි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, බදු ආදායම රජයට යටිතල පහසුකම් සංවර්ධනය (මාර්ග, පාලම්, විදුලිබලය), මහජන සෞඛ්‍ය සේවාවන්, අධ්‍යාපනය, සහ ආරක්ෂාව වැනි අත්‍යවශ්‍ය සේවාවන් සඳහා මූල්‍ය ශක්තිය සපයන බවයි. "බදු ගෙවීම යනු රටේ සංවර්ධනයට හා ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට ඍජුව දායක වන පුරවැසි වගකීමක්. 'බදු ශක්ති' යන තේමාව හරහා එම පණිවිඩය ජනතාවට ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා," යැයි IRD හි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
