කම්කරුවන්ට අලුත් ආරංචියක් - කම්කරු නීති සංශෝධනය වෙයි.. අවසන් කෙටුම්පතක් සකස් කිරීමට නියමිතයි
කම්කරු නියෝජ්ය අමාත්ය මහින්ද ජයසිංහ මහතා විසින් යල් පැන ගිය අණපනත් වෙනුවට වර්තමානයට ගැළපෙන ලෙස කම්කරු නීති සංශෝධනය කිරීමට කාලය එළැඹ ඇති බව සඳහන් කර ඇත.
නියෝජ්ය අමාත්යවරයා පෙන්වා දෙන්නේ මෙරට කම්කරු ප්රජාවගේ අයිතිවාසිකම් තවදුරටත් ආරක්ෂා වන ලෙස අදාළ නව සංශෝධන සිදු කිරීම රජයේ අපේක්ෂාව බවයි.
ඔහු මේ බව සඳහන් කළේ යෝජිත කම්කරු නීති සංශෝධන පිළිබඳව වෘත්තීය සමිතිවල අදහස් හා යෝජනා ලබා ගැනීම වෙනුවෙන් සංවිධානය කළ බස්නාහිර පළාත් වැඩසටහනට ඊයේ (28) දින කම්කරු අමාත්යාංශයේදී එක් වෙමින්.
ඉකුත් වසරේදී කම්කරු දෙපාර්තමේන්තුවට අදාළ නීති හා අණපනත් නූතනත්වයට ගැළපෙන පරිදි සංශෝධනය කිරීමට යෝජනා සකස් කිරීමට කම්කරු අමාත්යාංශයේ ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුත් කැබිනට් අනුකමිටුවක් පත් කරන ලදි.
එම අනුකමිටුව විසින් සකස් කරන ලද යෝජනාවලිය සම්බන්ධයෙන් වෘත්තීය සමිති, සේවායෝජකයන් මෙන්ම මහජනතාවගේ ද අදහස් ලබා ගැනීමේ අරමුණින් පළාත් මට්ටමින් මෙම වැඩසටහන් මාලාව සංවිධානය කර තිබෙනවා.
එම යෝජනාවලිය ඉකුත් අගෝස්තු මස 07 වැනි දින ජාතික කම්කරු උපදේශක සභාවට ඉදිරිපත් කර තිබෙන අතර, නව සංශෝධන සම්බන්ධයෙන් එම සභාවේ අදහස් හා යෝජනා ද මේ වන විට ලබා ගනිමින් පවතින බව සඳහන්.
එසේම ඊට සමගාමීව වෘත්තීය සමිති, ලංකා හාම්පුතුන්ගේ සංගමය ඇතුළු අදාළ පාර්ශවවල අදහස් හා යෝජනා ද සැලකිල්ලට ගනිමින් නව කම්කරු නීති සංශෝධන සඳහා අවසන් කෙටුම්පතක් සකස් කිරීමට නියමිත බව සඳහන්.
මේ අතර යෝජිත නව සංශෝධන සම්බන්ධයෙන් අදහස් දක්වමින් කම්කරු නියෝජ්ය අමාත්ය මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේ, නිෂ්පාදන ආර්ථිකය පුළුල් කරමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම ද නව කම්කරු නීති හඳුන්වා දීමේ ප්රමුඛ අරමුණක් බවයි.
එහිදී නියෝජ්ය අමාත්යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් වන අවසන් නීති කෙටුම්පත සියලු පාර්ශ්වයන්ගේ අදහස් හා යෝජනා සැලකිල්ලට ගනිමින් සකස් කෙරෙන බවයි.