ඉන්දීය නාවික හමුදා පුහුණු බලඝණයේ නෞකා ත්‍රිත්වය ඒකාබද්ධ අභ්‍යාසයකින් පසු දිවයිනෙන් පිටත්ව යයි
නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් ‘INS TIR’, ‘INS SUJATA’ සහ ‘ICGS SARATHI’ යන නෞකා ත්‍රිත්වය, ශ්‍රී ලංකා නාවික හමුදාව සමග පැවැත්වූ සාර්ථක ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් අනතුරුව අද (29) දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.
දිවයිනෙන් පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකා නාවික හමුදාව සමග පැවැති මුහුදු අභ්‍යාසයේදී නෞකා අතර සංඥා හුවමාරු කර ගැනීම, නෞකා සංග්‍රාමික පෙළහැඩයන් ඔස්සේ ගමන් කිරීම හා හැසිරවීම මෙන්ම නෞකා අතර ආචාර සමාචාර පැවැත්වීම ද සාර්ථකව සිදුකරන ලදී.
ශ්‍රී ලන්කන් ගුවන් යානයක් අනතුරට - කුරුල්ලෙකු ගැටීම නිසා ගුවන් යානයේ දෝෂයක් - අනූනවයෙන් බේරුණු ගුවන් යානය
මෙරට රැඳී සිටි කාලසීමාව තුළ ඉන්දීය නැව් මුළුව සහ පුහුණුවන නිලධාරීන් දෙරටේ සුහදතාව ඉහළ නැංවීම උදෙසා සංවිධානය කළ පුහුණු හුවමාරු වැඩසටහන්, නෞකා මෙහෙයුම් නිරීක්ෂණ සංචාර, ක්‍රීඩා තරග, වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්, ඒකාබද්ධ සංගීත ප්‍රසංගයක් සහ දිවයිනේ ප්‍රධාන සංචාරක ස්ථාන නැරඹීමේ සංචාර සඳහා ද එක්වූහ.
මෙවැනි නිල සංචාර සහ ඒකාබද්ධ අභ්‍යාස හරහා හුවමාරු වන නව වෘත්තීය දැනුම, අත්දැකීම් සහ ගොඩනැගෙන සහයෝගීත්වය මගින් ඉන්දියන් සාගර කලාපයේ උද්ගතවන පොදු සමුද්‍රීය අභියෝගයන්ට සාමූහිකව සාර්ථකව මුහුණ දීමට දෙරටේ නාවික හමුදාවන්ට හැකියාව ලැබෙන බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කරයි.