රට තුළ ඉන්ධන හිඟයක්? පිරවුම්හලේ දිගු පෝලිම් - ඉන්ධන සමාගම් වෙත හදිසියේම ලියුමක්
බලශක්ති අමාත්‍යංශය තීරණය කර ඇත්තේ හිඟයකින් තොරව ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සිදුකරන ලෙස පෞද්ගලික ඉන්ධන බෙදාහැරීම් සිදුකරන සමාගම් වෙත දැනුම්දෙන බවයි.
අද (06) දිනයේ අමාත්‍යංශ ලේකම්වරයා විසින් ලිඛිතව ඒ පිළිබඳව දැනුම් දීමට නියමිත බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සඳහන් කරයි.
වාර්තා වන ආකාරයට ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ඉන්ධන අලෙවි කිරීම මඟින් පාඩු සිදුවන බව පවසමින් මෙරට තුළ ඉන්ධන බෙදාහැරීම් සිදුකරන සමාගම් සිය ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සීමා කර ඇත.
මේ හේතුවෙන් දිවයිනේ බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන හිඟයක් පවතින අතර ඉන්ධන ලබා ගැනීම සඳහා පිරවුම්හල් අසල දිගු පෝලිම් ද දක්නට ලැබේ.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පැවසුවේ පවතින තත්ත්වය හමුවේ හිඟයකින් තොරව ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සිදුකරන ලෙස අදාළ සමාගම් වෙත දැනුම් දීමට තීරණය කර ඇති බවයි.
අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ඊට අමතරව අදාළ සමාගම්වලට අවම තෙල් තොග පවත්වා ගන්නා ලෙස දැනුම් දීමට ද බලාපොරොත්තු වන බවයි.
පවතින ඉන්ධන ගැටලුවට විසඳුම් වශයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පිරවුම්හල් වෙත වැඩි ඉන්ධන ප්‍රමාණයක් බෙදා හැරීමට ද අවශ්‍ය උපදෙස් ලබා දී තිබේ.
මේ අතර මෙම ගැටලුව සම්බන්ධයෙන් හෙට (07) දිනයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ද නියමිත බව වාර්තා වේ. බලශක්ති අමාත්‍යංශයේ නිලධාරීන්, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබේ.
මේ අතර පවතින ඉන්ධන ගැටලුව සම්බන්ධයෙන් කඩිනමින් විසඳුමක් ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සන්දනායක මහතා සඳහන් කළේය.