ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට සහන මල්ලක්
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනුව වඩා හිතකර හා දෙරටටම වැදගත් දිශානතියක් වෙත මේ වනවිට වර්ධනය වෙමින් තිබෙනවා.
එවැනි පසුබිමක මෙරට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සමග ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් විසින් මාර්ගගත හමුවක් පවත්වනු ලැබුවා.
හමුව අවසානයේ ට්විටර් සටහනක් තබමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා පවසා තිබුණේ එහිදී ඉන්දියාව, ශ්‍රී ලංකාවේ ස්ථීර සහ විශ්වසනීය හවුල්කරුවෙකු බව යළිත් තහවුරු කළ බවයි, ඉන්දියාව සැමවිටම ශ්‍රී ලංකාව සමඟ සිට ඇති බවත්, COVID-19 වසංගතයෙන් එල්ල වන ආර්ථික සහ අනෙකුත් අභියෝග ජය ගැනීම සඳහා හැකි සෑම ආකාරයකින්ම ශ්‍රී ලංකාවට සහාය දෙන බවත් ජයශංකර් ප්‍රකාශ කළ බව ඉන්දීය විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
සමීප මිතුරන් සහ සමුද්‍රීය අසල්වැසියන් ලෙස, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන දෙරටටම සමීප ආර්ථික අන්තර් සම්බන්ධතා වලින් වාසි ලැබෙන බව එම නිවේදනයේ සඳහන්.
සාර්ක් මුදල් හුවමාරු විධිවිධානය යටතේ ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 400ක් ලබාදීම සහ ACU (Asian Cleaning Union - බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, ඉරානය, මාලදිවයින, මියන්මාරය, නේපාලය, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව යන රටවල මහබැංකු එක්ව පිහිටුවා ගනු ලැබූ කලාපීය එකමුතුවකි) වෙත ගෙවීමට ඇති ඩොලර් මිලියන 515.2 මාස දෙකකින් පියවීමට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් මෙම හමුවේ දී අමාත්‍යවරු දෙදෙනා ධනාත්මකව අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.
ආහාර, අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහ ඖෂධ ආනයනය සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 1ක සහ ඉන්දියාවෙන් ඉන්ධන ආනයනය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ඉන්දියානු ණය පහසුකම් දීර්ඝ කිරීමේ ප්‍රගතිය අමාත්‍යවරුන් දෙදෙනා විසින් සමාලෝචනය කල බවද ඉන්දීය විදේශ අමාත්‍යාංශය නිවේදනය කළා.
ශ්‍රී ලංකාව සමඟ ඉන්දියාවේ දීර්ඝකාලීන සහයෝගීතාව සිහිපත් කළ බැසිල් රාජපක්ෂ එරටින් ලැබෙන සහයෝගය ගැඹුරින් අගය කර තිබෙනවා.
වරාය, යටිතල පහසුකම්, බලශක්තිය, පුනර්ජනනීය බලශක්තිය, සහ නිෂ්පාදන ඇතුළු වැදගත් ක්ෂේත්‍ර ගණනාවක ඉන්දීය ආයෝජන ශ්‍රී ලංකාව තුළ පිළිගැනීමට ලක් වූ බව සිහිපත් කර ඇති මුදල් අමාත්‍යවරයා එවැනි ආයෝජන දිරිගැන්වීම සඳහා සුදුසු පරිසරයක් ලබා දීමට සහතික වූ බව ඉන්දීය විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
මෙම සන්දර්භය තුළ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඒකාබද්ධව නවීකරණය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති මෑත කාලීන පියවර ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාව ඉහළ නැංවීමට අමතරව ආයෝජකයින්ගේ විශ්වාසය ඉහළ නංවන බව අමාත්‍යවරු දෙදෙනාම සඳහන් කර තිබෙනවා.
හවුල් ප්‍රගතිය සහ සෞභාග්‍යය සඳහා අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් දිගුකාලීන ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතාව සඳහා මග පෙන්වීම ලබාදෙමින් සමීප සම්බන්ධතාවකින් සිටීමට අමාත්‍යවරුන් දෙදෙනා එකඟ වූ බව විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් පවසනවා.
ශ්‍රී ලංකාවේ ඊසාන දිග වෙරළ තීරයේ උපාය මාර්ගිකව පිහිටා ඇති ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය ඒකාබද්ධව සංවර්ධනය කිරීම සඳහා දෙරට අතර දිගුකාලීනව පවතින ගිවිසුමකට අත්සන් කිරීමෙන් සතියකට පසුව ඉන්දියාව විසින් මෙම මූල්‍ය හුවමාරුව තහවුරු කිරීම සැලකිය යුතු කරුණක්.
දෙරට අතර ඕනෑම මූල්‍ය ආධාරයක් ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව සිදු කළ යුතු බව රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ග මීට පෙර පෙන්වා දී තිබූ බව "ද හින්දු" වෙබ් අඩවිය වාර්තා කර තිබුණා.
ඉන්දීය සංචිත බැංකුවේ (RBI)හි සහාය ශ්‍රී ලංකාවට සිය වර්තමාන ආර්ථික අභියෝගයට මුහුණ දීමට උපකාර කිරීමක් වන අතර ආයෝජනය සහ ඉන්දියන් සාගරයේ එහි උපායමාර්ගික අවශ්‍යතා යන දෙඅංශයෙන්ම ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය පිළිබඳ ඉන්දීය අවධානය යොමු වී තිබුණා.
"තෙල් පරිභෝජනය අතින් ඉන්දියාව ලෝකයේ තුන්වන ස්ථානයට පත්ව ඇති අතර, වසර 2030 වන විට ඉන්දියාවේ අවශ්‍යතාවය 50% කින් වැඩි වනු ඇතැයි පුරෝකථනය කර ඇත.
මෙම යථාර්ථයන් මනසේ තබා ගනිමින්, ත්‍රිකුණාමලයේ තෙල් ගබඩා පහසුකම් සංවර්ධනය කිරීමෙන් අපගේ සෑම රටකටම ගෙන යා හැකි දේ අප අගය කළ යුතු” යැයි නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා "ද හින්දු" වෙබ් අඩවියට පවසා තිබුණා.
ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගිවිසුමට ජනවාරි මස 6 වැනිදා ශ්‍රී ලංකා රජය , ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා ඉන්දියන් ඔයිල් සමාගම සහ ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් නමින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අනුබද්ධව ස්ථාපිත නව සමාගම යන පාර්ශවයන් මුදල් අමාත්‍යාංශයේ දී අත්සන් තැබුවා.
නව ගිවිසුමත් සමග 2003 බදු ගිවිසුම අහෝසි වන අතර ඉන්දියන් ඔයිල් කෝපරේෂන් අනුබද්ධිත ලංකා ඉන්දියන් ඔයිල් සමාගම දැනට භාවිත කරන ටැංකි 14ක තවත් වසර 50 ක් බදු පදනම යටතේ තවදුරටත් එම සමාගමට හිමි වනවා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ටැංකි 24 ක් පවත්වාගෙන යනු ඇති.
මෙම තත්ත්වය සමග ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන ගබඩා ධාරිතාව මසකින් ඉහළ නැංවෙන අතර උතුර, උතුරු මැද හා නැගෙනහිර පළාත් වෙත ඉන්ධන ප්‍රවාහන වියදමෙන් සැලකිය යුතු කොටසක් ඉතිරි කර ගැනීමටද හැකි වනවා.
ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගමට ටැංකි 61 ක් හිමි වනවා. ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගම යනු ලංකා ඛනිජතෙල් සංස්ථාවට 51% ද ලංකා ඉන්දියානු තෙල් සමාගමට 49%ද කොටස් හිමි ලංකා ඛනිජතෙල් සංස්ථාවේ පාලිත සමාගමක් වන අතර එහි අධ්‍යක්ෂ මණ්ඩලය ලංකා ඛනිජතෙල් සංස්ථාව මඟින් පත් කරන සිව් දෙනෙකුගෙන් සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් පත් කරන තිදෙනකුගෙන් සමන්විතයි සෑම ටැංකියක්ම ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අවම වශයෙන් ඩොලර් මිලියන 100 ක් වැය වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
ටැංකි සංකීර්ණය සංවර්ධනය කර පවත්වා ගෙන යෑමට අමතරව අක්කර 827ක් වන මෙම භූමිය සූර්ය විදුලි උද්‍යානයක් බවට පත් කීරීමටද නියමිතයි.
ඒ අනුව මෙරට බලශක්ති සුරක්ෂිතතාවය ද එමගින් තහවුරු වනු ඇති.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |