යුක්‍රේන යුධබිම කළඹන දරුණු "කින්සාල්" - භයානක බිහිසුණු යුධ තත්ත්වයක් !

sri lanka world news gagana news Sri lanka sinhala news today trending news Russia-Ukrain Attack
By krishani Mar 20, 2022 08:27 AM GMT
krishani

krishani

Report

යුක්‍රේන හමුදාවන්ට එරෙහිව දියත් කෙරෙන මෙහෙයුම් සඳහා රුසියාව සිය නවතම හයිපසොනික් මිසයිල යොදා ගැනීම නිසා ඉදිරියේ දී විනාශකාරී තත්ත්වයක් උදාකරනු ඇති බවට ජාත්‍යන්තරය අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

මෙවැනි තත්ත්වයක් තුළ යුක්‍රේන ජනපතිවරයා අවධාරණය කර ඇත්තේ ජනපති පුටින්ගේ ක්‍රියාකලාපය මර්දනය කිරීමට පියවර නොගතහොත් රුසියාව යුරෝපයට විශාල තර්ජනයක් වනු ඇති බවයි.

අඛණ්ඩව 25 වැනි දිනටත් යුක්‍රේනය තුළ රුසියානු හමුදා දියත් කර තිඛෙන මෙහෙයුම් දරුණු වෙමින් පවතින අතර එරට කියෙව් අගනගරය මරියොපෝල් සහ මයිකොලයිව් යන නගර ආශ්‍රිතව වැඩිම ආපදාවන් වාර්තා වන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

යුක්‍රේනයේ බටහිර ප්‍රදේශයේ ප්‍රධාන අවි ගබඩාවක් ඉලක්ක කර ගනිමින් රුසියානු හමුදාවන් ඊයේ(19) මුල්වරට සිය නවතම හයිපසොනික් මිසයිල භාවිත කරමින්ද ප්‍රහාර දියත් කිරීමත් සමඟ ඉදිරියේදී යුක්‍රේනය තුළ විනාශකාරී තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවට බටහිර අනතුරු අඟවා තිබෙනවා.

යුක්‍රේන හමුදාවන් සතු භූගත මිසයිල සහ ගුවනින් හෙළීමට යොදා ගන්නා බෝම්බ ගබඩා කර තිබූ ස්ථානයක් ඉලක්ක කර ගනිමින් රුසියානු හමුදා මෙලෙස ප්‍රහාර එල්ල කර ඇත්තේ ශබ්දයේ වේගය පවා අභීභවා යා හැකිවූ ද මිසයිල ආරක‍ෂණ පද්ධති මඟහැර යාමට හැකිවූ ද ‘කිංසාල්’ නම් නවතම හයිපසොනික් මිසයිල යොදා ගනිමින්.

රුසියානු හමුදා ප්‍රහාර හමුවේ දැඩි ලෙස අසරණව සිටින යුක්‍රේන හමුදාවන් සහ එරට සිවිල් වැසියන් මේ වන විට සාම මාවතකට රට යොමු වන තෙක් දැඩි විමසිල්ලකින් සිටින බව ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කළ ද යුද්ධය අත හැරීමටද ඔවුන්ගේ සූදානමක් නොමැති බවටයි රුසියානු බලධාරීන් චෝදනා කරන්නේ.

මිසයිල ප්‍රහාරවලින් යුක්‍රේනයේ ප්‍රධාන නගර රැසක ගොඩනැඟිලි විනාශ වී ඇති ආකාරය දැක්වෙන නවතම චන්ද්‍රිකා ඡායාරූප මෙන්ම ඩ්‍රෝන කැමරා යොදා ගනිමින් රූගත කළ දර්ශන අදත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. මේ අතර යුද ගැටුම් හේතුවෙන් රටින් පලායන යුක්‍රේන සිවිල් වැසියන් පෝලන්තයට රැගෙන ඒම සඳහා ට්‍රක් රථ රියදුරෙකු ලෙස යුක්‍රේනයට යාමට සැළසුම් කර සිටින හිටපු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් ඒ පිළිබඳව සිය නිල ට්විටර් ගිණුමට ඡායාරූපයක්ද සමඟින් තොරතුරු එක්කර තිබුණා.

පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් යුක්‍රේනය අතහැර වෙනත් රටවලට පලා ගොස් ඇති පිරිස තිස් තුන් ලක‍ෂය ඉක්මවා ඇති අතර තවත් හැටපන් ලක‍ෂයක පමණ පිරිසක් රට තුළ අවතැන්ව ඇති බවයි එක්සත් ජාතීන්ගේ වාර්තා පෙන්වා දෙන්නේ.

යුක්‍රේන අර්බුදය මෙලෙසින් උණුසුම් මුහුණුවරක් ගෙන ඇති පසුබිමක ඊයේ අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත ළඟා වූ රුසියානු ගඟනගාමීන් තිදෙනෙකු යුක්‍රේන ආක්‍රමණයට විරෝධය දක්වමින් යුක්‍රේන ධජයේ වර්ණයන්ගෙන් සැරසී සිටින ආකාරයද ජාත්‍යන්තරයේ වැඩි අවධානයකට ලක්ව තිබුණා.

මේ අතර යුක්‍රේනයේ යුද ගැටුම් වහා නවත්වන්නැයි ඉල්ලා යුරෝපයේ රටවල් රැසක් විරෝධතා දියත් කර ඇති අතර ඔවුන් අවධාරණය කර සිටින්නේ ප්‍රහාර හමුවේ පීඩාවට පත් යුක්‍රේන සිවිල් වැසියන් වෙනුවෙන් සැවොම පෙනී සිටිය යුතු බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Now