ගෑස් සම්බන්ධව ලිට්‍රෝ කළ විශේෂ ප්‍රකාශය - ඉදිරියේ දී ගෑස් මිල තවත් ඉහළ යයි ද..? (VIDEO)

sri lanka litro gas gagana news Sri lanka sinhala news today trending news
By krishani Mar 19, 2022 01:05 AM GMT
krishani

krishani

Report

කිලෝග්‍රෑම් දොළහයි දශම පහ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් අලෙවි කිරීමේදී රුපියල් 2,000 ක පමණ පාඩුවක් අත්විඳින බව ලිට්රෝ සුරැකීමේ ජාතික එකමුතුව පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ මේ වසරේ ගතවූ මාස කිහිපය තුළ රුපියල් බිලියනයක පාඩුවක් සමාගම ලබා ඇති බවයි. ඒ හේතුවෙන් සමාගම ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ගෑස් මිල වැඩි කිරීමේ තීරණයක් ගත යුතු බවයි ලිට්රෝ සුරැකීමේ ජාතික එකමුතුව පවසන්නේ.

මේ වනවිට 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 2,675 කට අලෙවි කරන අතර, ඒ සඳහා සමාගම විසින් දරණ පිරිවැය රුපියල් 4,662 ක් බවයි එම මාධ්‍ය හමුවේදී අනාවරණ වුණේ.

මේ අතර දින ගණනාවක් පුරා පැවති ගෑස් හිඟයට පිළියම් ලබාදෙමින් ඊයේ(18) පෙරවරුවේ සිට ගෑස් බෙදාහැරීමේ කටයුතු ලිට්රෝ සමාගම ආරම්භ කළා.

ඒ අනුව ඊයේ දිනයේදී ගෑස් සිලින්ඩර ලක්ෂයත්, එක්ලක්ෂ විසි දහසත් අතර ගෑස් සිලින්ඩර ප්‍රමාණයක් වෙළඳපොලට නිකුත් කිරීමටයි ඔවුන් පියවර ගෙන ඇත්තේ.

17 දිනයේ ගොඩබෑම ආරම්භ කළ මෙට්‍රික් ටොන් 3,500 ක ගෑස් රැගත් නෞකාවේ ගෑස් ගොඩබෑම මේ වනවිට අවසන් කර ඇති අතර, එළඹෙණ සඳුදා දිනයේද මෙට්‍රික් 3,500ක් රැගත් තවත් ගෑස් නෞකාවක් දිවයිනට පැමිණීමට නියමිතයි.

ඊට අදාළ ගෙවීම් කටයුතු සිදුකරගැනීමේ ගැටළුවක් පැන නොනගිනු ඇති බවද එම සමාගමේ උසස් නිලධාරීයෙකු සඳහන් කළා. ගොඩබෑ නෞකාවේ ගෑස් තොගය දින 3 කට පමණ ප්‍රමාණවත් වන අතර, ගෑස් මෙටි්‍රක් ටොන් එකකින් කිලෝග්‍රෑම් 12 යි දශම පහ සිලින්ඩර 80 ක් පමණ පිරවිය හැකියි.

ලිට්රෝ සමාගම නිකුත් කර ඇති ගෑස් සිලින්ඩර ලක්ෂ 75 ක් පමණ කිලෝ 12 දශම පහේ සිලින්ඩර වනවා.

කෙසේ වෙතත් ලාෆ්ස් සමාගම තවදුරටත් ගෑස් බෙදාහැරීම තාවකාලිකව අත්හිටුවා ඇත්තේ ඩොලර් අර්බුදය හමුවේ ණයවර ලිපි විවෘත කරගැනීමේ අපහසුතා හේතුවෙන්.

මේ අතර ඊයේ දිනයේත් දිවයිනේ ප්‍රදේශ රැසක ගෑස් ලබාගැනීම සඳහා පැමිණි ජනතාව පෝලිම්වල රැඳී සිටින ආකාරය දක්නට ලැබුණා.

එසේම ගෑස් හිඟයත් සමඟ ජනතාව භූමිතෙල් ලබාගැනීම සඳහා පිරවුම්හල් වෙත පැමිණීමත් සමඟ පිරවුම්හල් ආශ්‍රිතව භූමිතෙල් ලබාගැනීම සඳහාද පවතින්නේ දිගු පෝලිම්.

විඩියෝ දර්ශන - Hiru News Y-Tube channel 



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now