විනිමය අනුපාත වෙනස ඩොලරය රුපියල් 229 වූ පසු භාණ්ඩ මිලට වෙන දේ මෙන්න !

sri lanka Central Bank of Sri Lanka gagana news Sri lanka sinhala news today trending news Dollars vs Rs
By krishani Mar 09, 2022 01:52 AM GMT
krishani

krishani

Report

මහබැංකුව මගින් නම්‍යශීලි විනිමය අනුපාතයක් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ඩොලරයක විකුණුම් මිල රුපියල් 229 යි ශත 99 දක්වා ඉහළ ගියා.

ඩොලරයක ගැණුම් මිල වූයේ රුපියල් 225 යි ශත 20 ක්. කෙසේ වෙතත් මහ බැංකුව විශ්වාසය පළ කරන්නේ ඩොලරයේ අගය රුපියල් 230 සීමාව නොඉක්මවනු ඇති බවටයි.

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණ කිරීමට මහබැංකුව එසේ තීරණය කරනු ලැබුවා. විනිමය අනුපාතිකයෙහි ඉහළ නම්‍යශීලීබවක් ඇති කිරීම සඳහා මෙලෙස ඇමරිකානු ඩොලරයක අනුපාතය රුපියල් 230 දක්වා ඉහළ නංවන බවයි මහබැංකුව නිවේදනය කළේ.

බාහිර කම්පනවල දැඩි බව සහ දේශීය ආර්ථිකයේ මෑතකාලීන ප්‍රවනතා සැලකිල්ලට ගනිමින් එවැනි ආර්ථික තත්ත්වයන්ට මුහුණදීම සඳහා මහබැංකුවේ මූල්‍ය මණ්ඩලය මගින් පසුගිය 4 වන දා පුළුල් ප්‍රතිපත්ති මාලාවක් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

ප්‍රතිපත්ති පොලී අනුපාතික, ණය කාඩ්පත්, උකස් පොලී ආදිය ඉහළ නැංවූයේ ඊට අනුකූලවයි. උද්ධමනය, විදේශීය අංශය සහ මූල්‍ය අංශයේ ස්ථායිතාව උදෙසා තවදුරටත් ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව මහබැංකුව එහිදී ප්‍රකාශ කළා.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි මෙලෙස විනිමය අනුපාතිකයෙහි නම්‍යශීලීතාවකින් ගනුදෙනු කිරීම සදහා වෙළදපොළට ඉඩ සලසා දෙන බවයි මහබැංකුව ප්‍රකාශ කළේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පසුගියදා නිර්දේශ කළේ වෙළඳපොල අගය මත විදේශ විනිමය පවත්වාගෙන යා යුතු බවයි.

ඒ අනුව මෙරට විදේශ විනිමය වෙළඳපොල අගයට ගැළපෙන පරිදි නිදහස් කිරීමට මහ බැංකුව පියවර ගත්තා. රුපියලට සාපේක්ෂව ඩොලරය සඳහා ඉතිහාසයේ වැඩිම අගය වාර්තා කරමින් ඩොරලයක අගය රුපියල් 229 යි ශත 99 ක් දක්වා ඉහළ ගියේ ඒ අනුවයි.

මෙලෙස ඩොලරයේ අගය ඉහළ යාමට සාපේක්ෂව සෙසු රටවල විනිමය අනුපාතිකයන්ද ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුමක විකුණුම් මිල ද ඉහළ ගොස් ඇත්තේ රුපියල් 302 යි ශත 92 ලෙසින්. එහි ගැණුම් මිල වන්නේ රුපියල් 294 යි ශත 6 ක්.

මහබැංකුව ප්‍රකාශයට පත් කළ විනිමය අනුපාතිකවලට අනුව අද යුරෝ 1 ක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 254 යි ශත 37 ක් ලෙසින්. යුරෝවක ගැනුම් අනුපාතය රුපියල් 244 යි ශත 48 ක්. මීට අමතරව ඕස්ටේ්‍රලියානු ඩොලරයක විකිණුම් මිල රුපියල් 170 යි ශත 15 ක් ලෙසත්, කැනේඩියානු ඩොලරයක විකිණුම් මිල රුපියල් 180 යි ශත 90 ක් ලෙසත්, චීන යුවාන් හෙවත් රෙන්මින්බි විකිණුම් අනුපාතය රුපියල් 36 යි ශත 71 ක් ලෙස අද සටහන් වුණා. එමෙන්ම බහරේන් ඩිනාරයක අනුපාතය රුපියල් 536 ක් ලෙසත්, කුවේට් ඩිනාරයක් රුපියල් 665 ක් ලෙසත් ඕමාන් රියාලයක් රුපියල් 524 යි ශත 90 ක් ලෙසත් සටහන් වූ අතර, සෞදි රියාල් එකක අනුරූපිත අනුපාතිකය රුපියල් 53 යි ශත 86 ක් ලෙස සටහන් වුණා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩිරාම් විනිමය අනුපාතිකය රුපියල් 55 යි ශත 1 ක් ලෙස සටහන් වූ අතර, කටාර් රියාල් එකක මිල සටහන් වූයේ රුපියල් 55 යි ශත 30 ක් ලෙසින්.

මේ අතර පවතින ආර්ථික තත්වය හමුවේ ගෑස්, විදුලිය හා ඉන්ධන යන ක්‍ෂේත්‍ර සඳහා මිල සූත්‍රයක් අවශ්‍ය බව ජාතික වානිජ මණ්ඩලය ප්‍රකාශ කළා. මේ අතර විගමනික ශ්‍රමිකයන් විසින් මෙරටට ප්‍රේෂණය කරනු ලබන ඇමරිකානු ඩොලරයක් වෙනුවෙන් දැනට ගෙවන රුපියල් 10 ක දිරි දීමනාව රුපියල් 38 දක්වා ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවුණා.

විගමණික ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණය දිරිමත් කිරීම, ඔවුන්ගේ සේවය ඇගයීම සහ ඔවුන්ගේ යැපෙන්නන්ට වැඩි ආර්ථික ප්‍රතිලාභ ලබාදීම අරමුණු කරගෙනයි මෙම තීරණයට එළඹ ඇත්තේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල සඳහන් කළේ මෙම තීරණයට එළඹියේ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 202 ක් ලෙස පැවති අවස්ථාවේදී බැවින් පවතින විනිමය අනුපාතය අනුව විදෙස් ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ සඳහා ලබාදෙන්නේ අමතර රුපියල් අටක් පමණක් බවයි.

ඒ අනුව එම ප්‍රේෂණ සඳහා ඇමරිකානු ඩොලරයකට රුපියල් 238 ක් හිමිවනවා. මේ අතර කොරෝනා ව්‍යාප්තියෙන් පසු ජාතික ආර්ථිකයේ ක්‍රියාකාරිත්වය පිළිබඳව සහ ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති ඇතුළු දේශීය ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ස්ථාපිත, ආර්ථික සභාව සති පතා කැදවීමට ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සභාපතීත්වයෙන් පිහිටුවා ඇති ආර්ථික සභාවට අග්‍රාමාත්‍යවරයා, මුදල්, වෙළද, මහාමාර්ග, කෘෂිකර්ම, වැවිළි කර්මාන්ත යන අමාත්‍යවරුන් මෙන්ම මහබැංකු අධිපතිවරයා, ඇතුලු 11 දෙනෙකු ඇතුළත්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now