පාකිස්තානයේ තුන්කොන් එක්දින සටනට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි - සංචිතය මෙන්න
පාකිස්තානයේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ එංගලන්තය සහභාගි වන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය අද (04) ප්‍රකාශයට පත් කර තිබේ.
කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් කිහිපදෙනෙකු යළි කැඳවා තිබීම විශේෂත්වයකි. වසර දෙකකට වැඩි කාලයකට පසු දසුන් ශානක සහ සහන් ආරච්චිගේ එක්දින සංචිතයට යළි එක්කර ඇති අතර, වසරකට වැඩි කාලයක් එක්දින අවස්ථාවක් නොලැබුණු අවිශ්ක ප්‍රනාන්දුටද නැවත අවස්ථාව හිමිව තිබේ.
මේ අතර, ආබාධයකට ලක්ව සිටින පැතුම් නිස්සංකද සංචිතයට ඇතුළත් කර ඇත. කෙසේ වෙතත්, වෛද්‍ය පරීක්ෂණ මඟින් පූර්ණ ශාරීරික යෝග්‍යතාව තහවුරු කළහොත් පමණක් ඔහුට තරගාවලියට සහභාගි වීමට හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.
නිමාවූ එංගලන්ත තරගාවලියේදී දස්කම් දැක්වීමට නොහැකි වූ චරිත් අසලංක මෙවර එක්දින සංචිතයෙන් ඉවත් කර තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන සංචාරය ඔක්තෝබර් 09, 11 සහ 13 යන දිනවල පැවැත්වෙන තරග තුනකින් යුත් විස්සයි20 තරගාවලියකින් ආරම්භ වේ.
අනතුරුව ඔක්තෝබර් 18 වැනිදා ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරගයෙන් තුන්කොන් එක්දින තරගාවලිය ආරම්භ වන අතර, එය ඔක්තෝබර් 27 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
එක්දින තරගාවලියෙන් අනතුරුව අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පාකිස්තානයට එරෙහිව ටෙස්ට් තරග දෙකකටද ශ්‍රී ලංකාව සහභාගි වීමට නියමිතය.
ශ්‍රී ලංකා සංචිතය: පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, කමිල් මිෂාර, කුසල් මෙන්ඩිස් (නායක), පවන් රත්නායක, සහන් ආරච්චිගේ, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, දසුන් ශානක, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, සචින්දු කොළඹගේ, දුෂ්මන්ත චමීර, අසිත ප්‍රනාන්දු, ඩිල්ෂාන් මධුශංක සහ එශාන් මාලිංග.