තව මාස දෙකකින් ලංකාවට සුභ ආරංචියක්..

Ranjith Siyambalapitiya Sri Lanka Politician Sri Lanka IMF Sri Lanka Economy of Sri Lanka
By Aruna Jul 25, 2023 12:10 AM GMT
Aruna

Aruna

Report

සැප්තැම්බර් මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය මණ්ඩල වැඩසටහනේ කොටසක් ලෙස පළමු සමාලෝචනයට සාර්ථකව මුහුණ දීමට රජයට විශ්වාසයක් ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

මේ අතර, රටේ ආර්ථික වර්ධනයට දායකවීම සඳහා ඉහළ වැය ශක්තියක් සහිත සංචාරකයන් මිලියන 2.5ක් ඇතුළුව සංචාරකයන් මිලියන 5ක් ආකර්ෂණය කර ගැනීම අරමුණ කර ගනිමින් රජයේ නව සංචාරක උපාය මාර්ගය වන ‘Visit Sri Lanka’ ඉදිරි මාස කීපයේ ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, බත්තරමුල්ල වෝටර්ස්ඒජ් හෝටලයේ ඊයේ (24) පැවති Bocuse d’Or 2023 තරගාවලියේ සම්මාන ප්‍රදානෝත්සවයට එක්වෙමිනි.

ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින සුප්‍රසිද්ධ සූපවේදීන්ගේ සුවිශේෂී දක්ෂතා සහ කුසලතා ප්‍රදර්ශනය කිරීම සඳහා වේදිකාව නිර්මාණ කිරීම Bocuse d’Or 2023 තරගය මඟින් සිදු වේ.

Bocuse d’Or 2023 තරගාවලියේ ජයග්‍රාහකයන් වෙත කුසලාන සහ සහතිකපත් ප්‍රදානය කිරීම මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, ඉන්දියාවේ ඇස්තමේන්තු පෙන්වා දෙන ආකාරයට ශ්‍රී ලංකාවට වාර්ෂිකව සංචාරකයන් මිලියන 10ක් පමණ ගෙන්වා ගැනීමට හැකියාව පවතින බවත් ඉන් බහුතරයක් ආසියානු සහ ඉන්දියන් සාගර කලාපයේ සංචාරකයන් වනු ඇති බවයි.

ගෝලීය සංචාරක වෙළෙඳ පොළේ තරග කිරීමට ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ පරිවර්තනයක් අවශ්‍ය වන අතර, ඉවුම් පිහුම් කලාවේ විවිධත්වයක් ඇති ඝර්ම කලාපීය රටක් ලෙස ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ හැකියාව රජය හඳුනාගෙන ඇති බැවින් මෙරට සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමේදී සූපශාස්ත්‍රය උපරිමයෙන් දායක කර ගැනීමට අවධානය යොමු කර ඇති බව ද ජනාධිපතිවරයා පැවසීය.

රටේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු මෙන්ම ‘Dilmah Tea’ හි නිර්මාතෘ සහ හිටපු ප්‍රධාන විධායක නිලධාරී අභාවප්‍රාප්ත මෙරිල් ජේ. ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ඉටුකළ මෙහෙවර ද මෙහිදී ජනාධිපතිවරයාගේ ඇගැයීමට ලක් විය.

එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය, 

අද මේ සභාවේ හිස් තැනක් තිබෙනවා. එය අප සියලු දෙනාටම දැනෙනවා.

මෙරට සංචාරක කර්මාන්තය වෙනුවෙන් ප්‍රමුඛ මෙහෙවරක් ඉටුකළ මෙරිල් ප්‍රනාන්දු මහතා නැතිව අද අප මෙහි හමුවන්නේ පළමු වරටයි.

ඔහු මෙරට සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් ඉටු කළ කාර්යභාරය අපට අමතක කළ නොහැකියි.

මා 2002 වසරේ අගමැතිවරයා ලෙස සිටින සමයේ ඒඩ්‍රියන් සේගා මෙරටට පැමිණි අවස්ථාව මට මතකයි. අපේ සංචාරක ව්‍යාපාරය පුළුල් කරන්නේ කෙසේද කියා ඔහු කතා කළා.

ඒ වගේම මෙරටට පැමිණි ජෙෆ්රි ඩොබ්ස් බුටික් හෝටල් සංකල්පය පිළිබඳ කතා කළා.

මේ බුටික් හෝටල් සංකල්පය හරහා මෙරට වැවිලිකරුවන්ගේ “බංගලා”, බුටික් හෝටල් බවට පත් කරන්නේ කෙසේද යන්න කතා කිරීමට පටන් ගත්තා.

මෙරිල් ක්‍ෂේත්‍රයේ නොසිටියත් එය අනුගමනය කළා. ඉන්පසුව මා මැතිවරණයෙන් පරාජය වුණා.

නැවත බුටික් හෝටල් බලන්න හැකිවෙයි කියා මා හිතුවේ නැහැ. දවසක් මෙරිල් ඇවිත් මට කිව්වා “මා ‘Tea Trails’ පටන් ගන්නවා” කියලා.

ඔහු මට මුලින්ම බුටික් හෝටලයකට ආරාධනා කළා. අප සියලු දෙනාට ආඩම්බර විය හැකි ප්‍රමිතියකින් ඔහු එය ස්ථාපිත කර තිබුණා.

එබැවින් ඔහු මෙරට තේ කර්මාන්තයට පමණක් නොවෙයි, සංචාරක ක්ෂේත්‍රය වෙනුවෙන් ද ලබාදුන් දායකත්වය අපට අමතක කළ නොහැකියි. ඔහු කල්කුඩාවේ සූපශාස්ත්‍ර පාසලක් ද ආරම්භ කළා.

මා හිතන්නේ දේශපාලනඥයෙක් ලෙස මා වාසනාවන්තයි. අවුරුදු 40ක් තිස්සේ මා රට වටේ යන විට විවිධ කෑම වර්ග භූක්ති විඳීමට අවස්ථාව ලැබෙනවා.

පෙරේදා මා අනුරාධපුරයට ගියා. අපට ඉතා රසවත් වැව් මාළු ව්‍යංජනයක් භුක්ති විඳීමට අවස්ථාව ලැබුණා.

හෝටල්වලින් පිට සනීපාරක්ෂක පහසුකම් එතරම් හොඳ මට්ටමක නොතිබූ මීට වසර 40කට පමණ පෙර සිදුවීමක් මට සිහිපත් වෙනවා.

අප දවසක් බටහිර වෙරළ තීරයේ හොඳම කකුළුවන් ව්‍යාංජනය තිබූ කල්පිටිය අවන්හලක් වෙත ගියා. මාත් සමඟ තවත් කීපදෙනෙකු මේ සඳහා එක්ව සිටියා.

ඒ කකුළුවන් ව්‍යාංජනය ඉතා රසවත්. අනතුරුව අප මුහුදු පැළෑටි ජෙලි එකක් කෑමට ගත්තා.

මේ මුහුදු පැළෑටි ජෙලි පෘතුගීසීන්ගේ වට්ටෝරුවක් අනුව මුස්ලිම් කාන්තාවන් විසින් පිසූ එකක්.

කල්පිටියට ගියොත් මුහුදු පැළෑටි ජෙලි හදන ආකාරයත් ඉගෙන ගන්න පුළුවන්.

මා ආහාර ගෙන එතැනින් පිටතට ඒමට පෙර ඔවුන්ගෙන් ඇහුවා “ඇයි සුදු මේස රෙද්දක් නැතිව කහ පැහැති රෙද්දක් දාලා තියෙන්නේ” කියලා .

ඔවුන් මට කිව්වේ මේස රෙදි කාලෙකින් ලොන්ඩරියට දැම්මේ නැහැ කියලා.

ඉතින් මේ අවදානම තිබුණත් මේ අත්දැකීම් ලබා ගැනීම වැදගත්. අප දැන් රටක් ලෙස අලුත් ගමනක් යා යුතුයි.

අප බංකොලොත්භාවයෙන් මිදීමෙන් පසු අපට ප්‍රමාණවත් පරිදි විදේශ විනිමය අවශ්‍ය වෙනවා. ඒ හැමදේම පහසුවෙන් ලබාගත නොහැකියි. ඇතැම් ණය ආපසු ගෙවීමේදී කොන්දේසි තිබෙනවා.

මේ මුදල් උපයා ගැනීමට හැකි අයුරින් අපගේ සංචාරක ක්ෂේත්‍රය දියුණු කරගත යුතුයි.

අපේ රටට වාර්ෂිකව පැමිණෙන සංචාරකයන් මිලියන 2.5 ප්‍රමාණවත් වන්නේ නැහැ.

අප දැන් වාර්ෂිකව සංචාරකයන් මිලියන 5ක් මෙරටට ගෙන්වා ගැනීමට ඉලක්ක කරගෙන සිටිනවා.

ඉන් මිලියන 2.5ක් ඉහළ වැය ශක්තියක් සහිත සංචාරකයන් විය යුතුයි.

ඉන්දියානු ඇස්තමේන්තුවලට අනුව ශ්‍රී ලංකාවට වාර්ෂිකව සංචාරකයන් මිලියන 10ක් පමණ ගෙන්වා ගත හැකි අතර, ඔවුන්ගෙන් වැඩි දෙනෙක් ආසියාවෙන් සහ ඉන්දියානු සාගර කලාපයෙන් පැමිණෙන සංචාරකයන්.

එබැවින් සංචාරක ක්ෂේත්‍රයේ විශාල පරිවර්තනයක් ඇති කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

අද මේ තරගයට සහභාගී වූ මෙහි සිටින තරුණ තරුණියන් අතරින් බොහෝ පිරිසක් තවත් වසර තුනකින් පමණ ශ්‍රී ලංකාව හැරයෑමට ඉඩ තිබෙනවා.

ඔවුන් මෙරට රඳවා ගැනීමට නම් මාලදිවයිනේ හෝටල්වල ගෙවන වැටුපවත් ඔවුන්ට ගෙවිය යුතුයි.

ඔවුන්ට මාලදිවයිනේ හෝටල්වල ගෙවන වැටුප ලබාදීමට නම්, ඔබ මාලදිවයිනේ හෝටල්වලට සමාන මුදලක් අය කළ යුතුයි.

එසේ අය කිරීම සඳහා ඔබ එම හෝටල්වල ලබාදෙන සේවාව ලබාදිය යුතුයි.

අප ඉලක්ක කරන මිලියන 05ක හා මිලියන 10ක සංචාරකයන් දෙස බැලීමේදී ඒ අතර විවිධ වර්ගයේ සංචාරකයන් සිටිය හැකියි.

සූපශාස්ත්‍ර සංචාරක ව්‍යාපාරයක් සඳහා අපේ රටට හොඳ පසුබිමක් තිබෙනවා. අපේ සංචාරක ක්ෂේත්‍රයේ සූපශාස්ත්‍ර සංචාරක ව්‍යාපාරය ඉලක්ක කරන්නේ නම් සංචාරකයන් විශාල ප්‍රමාණයක් ආසියාවෙන් අපේ රටට පැමිණෙනවා.

අප ඒ පිළිබඳ ප්‍රමුඛ අවධානයක් යොමු කළ යුතුයි. ඒ සඳහා අප වැඩි වශයෙන් කාර්ය මණ්ඩල පුහුණු කළ යුතුයි.

ඒ සඳහා අප සූදානම් විය යුතු අතර, හෝටල් පාසල් වැඩිදියුණු කිරීම සඳහා ද අප අවධානය යොමු කර තිබෙනවා.

ඒ වගේම පෞද්ගලික අංශය ද දායක කර ගනිමින් සූපශාස්ත්‍ර පාසලක් ආරම්භ කිරීමට ද රජය බලාපොරොත්තු වෙනවා.

ආණ්ඩුව තනිව මේ සියලු දේ කරනතුරු බලා නොසිටිය යුතුයි. මේ සඳහා සියලු දෙනාගේ දායකත්වය අවශ්‍යයි.

ඒ වගේම දැනට විවිධ ප්‍රදේශවල රජයේ සහ පෞද්ගලික සූපශාස්ත්‍ර පාසල් ක්‍රියාත්මක වෙනවා.

ඒ අයටත් සහාය ලබාදිය හැකි ආකාරය පිළිබඳව අප සොයා බලනවා.

අප Visit Sri Lanka නමින් නව සංචාරක සැලැස්මක් මේ අගෝස්තු හෝ සැප්තැම්බර් මාසයේදී එළිදැක්වීමට අපේක්ෂා කරනවා.

එම කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින අතර, එම කටයුතු අවසන් වූ වහාම එය එළිදැක්වීම අපේ අරමුණයි.

මේ තරගය සංවිධාන කළ සහ දීර්ඝ කාලයක් පුරා මෙය පවත්වාගෙන එන ඔබ සියලු දෙනාට මා ස්තූති කරනවා.

ඒ වගේම මේ තරගය සංවිධාන කිරීම පමණක් නොව හොඳ සූපශාස්ත්‍ර පාසලක් ස්ථාපිත කිරීමට ඔබ අපට සහාය වනු ඇතැයි ද මා විශ්වාස කරනවා.

ඒ වගේම මා ඔබ සියලු දෙනාට සුබ පතනවා.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජොං ෆ්‍රැන්සුවා, , Bocuse d’Or ශ්‍රී ලංකා සභාපති රොහාන් ප්‍රනාන්දුපුල්ලේ, ඩෙල්මා තේ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඩිල්හාන් සී. ප්‍රනාන්දු මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ReeCha