ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව ප්‍රබල කණ්ඩායම් ගොඩකට මැදි වෙයි - සම්පූර්ණ තරග කාලසටහන මෙන්න
2027 ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ නිල තරග කාලසටහන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ප්‍රකාශයට පත් කර තිබේ. දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ සහ නැමීබියාව යන රටවල පැවැත්වෙන මෙවර ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාව B කාණ්ඩයට ඇතුළත් කර තිබේ.
B කාණ්ඩයට ශ්‍රී ලංකාව සමඟ නවසීලන්තය, දකුණු අප්‍රිකාව, එංගලන්තය, බංග්ලාදේශය සහ සුදුසුකම් ලබන තවත් කණ්ඩායමක් ඇතුළත් වේ. ශ්‍රී ලංකාව සිය පළමු තරගයට ඔක්තෝබර් 10 වැනිදා වින්ඩ්හෝක්හිදී සුදුසුකම් ලබන B කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිතය.
ඉන් අනතුරුව ඔක්තෝබර් 13 වැනිදා වින්ඩ්හෝක්හිදී එංගලන්තයට එරෙහිවද, ඔක්තෝබර් 16 වැනිදා ඩර්බන්හිදී බංග්ලාදේශයට එරෙහිවද ශ්‍රී ලංකාව තරග වැදීමට නියමිතව තිබේ.
ඔක්තෝබර් 20 වැනිදා ජොහැන්නස්බර්ග්හිදී නවසීලන්තයට එරෙහිවද, ඔක්තෝබර් 22 වැනිදා එම ක්‍රීඩාංගණයේදීම දකුණු අප්‍රිකාවට එරෙහිවද ශ්‍රී ලංකාව තරග කිරීමට නියමිතය. කාණ්ඩ අදියරේදී සෑම කාණ්ඩයකම ඉහළම ස්ථාන තුන හිමිකර ගන්නා කණ්ඩායම් Super 7 අදියරයට සුදුසුකම් ලබයි. කාණ්ඩ දෙකේ සිව්වැනි ස්ථානයට පත්වන කණ්ඩායම් අතරින් වැඩි ලකුණු ලබාගන්නා කණ්ඩායමටද එම අදියරයට එක්වීමට අවස්ථාව හිමි වේ.
Super 7 අදියර ඔක්තෝබර් 25 වැනිදා සිට නොවැම්බර් 14 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර, එහිදී සෑම කණ්ඩායමක්ම තරග හයකට සහභාගී වේ.
ඊයේ සිට ක්‍රිකට් සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු වෙයි - සියලුම ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි සඳහා ක්‍රියාත්මක වන පරිදී අලුත් නීති රැසක්
ශ්‍රී ලංකාව Super 7 අදියරයට සුදුසුකම් ලැබුවහොත්, කාලසටහනට අනුව ඔක්තෝබර් 25 වැනිදා ජොහැන්නස්බර්ග්හිදී ඕස්ට්‍රේලියාවට එරෙහිවද, ඔක්තෝබර් 29 වැනිදා කුගොම්පෝ සිටිහිදී නවසීලන්තයට එරෙහිවද තරග කිරීමට නියමිතය.
එමෙන්ම නොවැම්බර් 2 වැනිදා එංගලන්තයට එරෙහිව කේප් ටවුන්හිදී, නොවැම්බර් 6 වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිව බ්ලූම්ෆොන්ටේන්හිදී සහ නොවැම්බර් 10 වැනිදා පාකිස්තානයට එරෙහිව බ්ලූම්ෆොන්ටේන්හිදී ශ්‍රී ලංකාව තරග කිරීමට නියමිතය.
Super 7 අදියරේ ශ්‍රී ලංකාවේ අවසන් තරගය නොවැම්බර් 14 වැනිදා ඩර්බන්හිදී ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිතය. මෙවර ලෝක කුසලාන තරගාවලියේ කාණ්ඩ අදියර ඔක්තෝබර් 7 වැනිදා ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර කේප් ටවුන්හිදී පැවැත්වෙන තරගයෙන් ආරම්භ වේ.
ඉන්දියාව සහ පාකිස්තානය අතර බලාපොරොත්තු සහගත තරගය ඔක්තෝබර් 10 වැනිදා ජොහැන්නස්බර්ග්හිදී පැවැත්වීමට නියමිත අතර, 2023 ලෝක කුසලාන අවසන් මහා තරගයේ ප්‍රතිවාදීන් වූ ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව මෙවර කාණ්ඩ අදියරේ පළමු තරගයේදී මුණගැසීමද විශේෂත්වයකි.
අවසන් පූර්ව තරග දෙක නොවැම්බර් 17 සහ 18 යන දිනවල කේප් ටවුන් සහ Tshwaneහිදී පැවැත්වීමට නියමිතය. 2027 ලෝක කුසලාන අවසන් මහා තරගය නොවැම්බර් 21 වැනිදා ජොහැන්නස්බර්ග්හිදී පැවැත්වෙන අතර, අවශ්‍ය වුවහොත් නොවැම්බර් 22 වැනිදා අතිරේක දිනය ලෙස යොදා ගැනේ.
තරගාවලිය සඳහා දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ සහ නැමීබියාව යන රටවල ක්‍රීඩාංගණ 12ක් භාවිත කිරීමට නියමිතය. මේ අතර, ලෝක කුසලාන තරග සඳහා ප්‍රවේශපත්‍ර ලබාගැනීමේ අවස්ථාව වෙනුවෙන් ICC විසින් ටිකට්පත් ලියාපදිංචි කිරීමේ ක්රමවේදයද ආරම්භ කර තිබේ.