විභාග ප්‍රතිඵල ඉක්මනින් - විශේෂ සාකච්ඡාවක් දෙපාර්තමේන්තුවෙන්
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී විභාග දෙපාර්තමේන්තුවේ කාර්යසාධනය ඉහළ නැංවීම සඳහා වන විශේෂ සාකච්ඡාවක් සිදුව ඇත. එහිදී විභාග ප්‍රතිඵල නිකුත් කිරීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, ප්‍රශ්නපත්‍ර ඇගයීම් ක්‍රියාවලිය, අභ්‍යන්තර හා බාහිර පරීක්ෂකවරුන් යොදාගැනීම මෙන්ම විභාග කටයුතුවල රහස්‍යභාවය සුරැකීම පිළිබඳව සාකච්චා විය.
ඊට අමතරව විභාග කටයුතු සඳහා පවතින ස්ථාන පහසුකම්, තාක්ෂණික උපකරණ, මුද්‍රණ පහසුකම් පුළුල් කිරීම සහ විභාග හා ඇගයීම් කටයුතුවලට අදාළ දීමනා සහ ගාස්තු සංශෝධනය කිරීම පිළිබඳවද එම කාරක සභාවේ අවධානය යොමුව ඇත.
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් මීට පෙර කෝපා කමිටුව මඟින් ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා එම කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳ කරුණු සාකච්ඡාවට ගෙන ඇති බව වාර්තා වේ.
එහිදී ප්‍රතිඵල නිකුත් කිරීම කඩිනම් කිරීම වෙනුවෙන් නව OMR/OCR පද්ධතියක් හඳුන්වා දීම, වෙනම ඇගයීම් මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීම සහ ආයතනික විභාග කාර්යක්ෂමව පැවැත්වීම සම්බන්ධයෙන් දැනට ගෙන ඇති හා ඉදිරියේදී ගැනීමට නියමිත පියවර පිළිබඳවද නිලධාරීන් විසින් කාරක සභාව දැනුවත් කරනු ලැබුවා.
මීට අමතරව විභාග ප්‍රතිඵල විශ්ලේෂණය පදනම් කරගනිමින් ගුරු පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, විෂය දැනුම හා ඉගැන්වීමේ ක්‍රමවේද වැඩිදියුණු කිරීම මෙන්ම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ ගුරු පුහුණු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණා.
ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ සමස්ත කාර්යසාධනය තවදුරටත් ඉහළ නැංවීම සඳහා මීට පෙර ලබාදුන් නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව කාරක සභාව වැඩිදුරටත් අවධාරණය කළා.